ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු තුන්වන වරටත් කෝවිඩ්-19 ආසාදිතයකු බව තහවුරු වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් සඳහන් කරයි.
එම තරුණයා අගෝස්තු 18 දින මෙරටට පැමිණීමෙන් අනතුරුව මුල්වරට කෝවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී සුවය ලබා නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට ලක් වී සිටි තරුණයාට දෙවනවරටත් රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ විසින් සැප්තැම්බර් 17 වන දින හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී සිදුකළ පී.සි.ආර් පරීක්ෂණයකින් එම තරුණයා යළිත් කෝවිඩ්-19 ආසාදිතයෙකු බව තහවුරු වී ඇති අතර ඉරණවිල රෝහලට ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. එහිදී ප්‍රතිකාර ලබා නැවත නිවසට පැමිණ ස්වයං නිරෝධානයට ලක් වෙමින් සිටි තරුණයට ඔක්තෝම්බර් 02 දිය යළිත් වරක් රෝග ලක්ෂණ මතුව තිබීම හේතුවෙන් හලාවත රෝහලට නැවත ඇතුළත් කර තිබෙනවා.
එහිදී කළ පීසීආර් පරීක්ෂණයේ දී 03 වන වරටත් එම තරුණයා ආසාදිත බව හඳුනාගෙන තිබෙන අතර මේ වන විට යළිත් එම තරුණයාව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.
ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ අදාළ තරුණයා නිසි නිරෝධායන ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඔහු පදිංචි නිවස තුළ රඳවා නිරෝධායනයට ලක් කළ බවයි.
කෙසේ වෙතත්, දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙලෙස තෙවරක් කොවිඩ්-19 ආසාදනය වූ රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ ප්‍රථමවරට බව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.
