Advertise with Giraya
NEWS

වාහන මිල ගැන ආණ්ඩුව ගත් තීරණය

ආනයනික වාහන මිල ගණන් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරනු ඇති බව වාහන නියාමන හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රට තුළ වාහන එකලස් කිරීම දිරිගැන්වීම ආණ්ඩුවේ ඉලක්කය බැවින් ආනයනික වාහන මිල ගණන් ඉදිරියේදීත් අඩු නොකෙරෙනු ඇති බවයි.

රට තුල වාහන එකලස් කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීමේ දී දේශීය නිෂ්පාදනයන් සීයයට 30ක් ඊට අන්තර්ගතවී තිබිය යුතු බවත් පසුව එය ක්‍රම ක්‍රමයෙන් සීයයට 40-50 දක්වා වැඩිවිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කරයි. එමෙන්ම, ඉදිරියේ දී වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමේ දී දේශීයව එකලස් කරන වාහන වෙළදපොල ආරක්ෂා කිරීම සඳහා ආනයන වාහන මත පවනවන බදු හේතුවෙන් එම වාහන වල මිලෙහි අඩුවක් ඇති නොවනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

රටේ මුදල් විදෙස් රටවලට ගලා යාම වැළැක්වීමේ අරමුණින් වාහන ආනයනය නතර කිරීමට තීරණය කළ බවත් රට තුළ කිසිඳු වාහන හිඟයක් නොමැති බව පැවසූ ඇමතිවරයා වාහන ආනයන තහනම ඉවත් කිරීමේ නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට නොහැකි බවද පැවසුවා.

වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමඟ වාහන අලෙවිකරුවන් සහ ඒ ආශ‍්‍රිත කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ සඳහන් කළේ, මේ වන විට කර්මාන්තයට සම්බන්ධ ඍජු හා වක‍්‍ර රැකියා රැසකට බලපෑම් එල්ල වී ඇති බවයි.

එමෙන්ම, වාහන අලෙවි ප්‍රදර්ශනාගාර පවත්වා ගැනීමටත් සේවකයින්ට වැටුප් ලබා දීමටත් නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් අරෝෂ රොද්‍රිගෝ සඳහන් කළා. තවද, මෙරට දැනට ලියාපදිංචි නොකළ වාහන ඉතිරිව ඇත්තේ 1500ක් පමණ බව ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය මඟින් සිදු කරන ලද සංගණනයක දී අනාවරණය වූ බවත් ඔහු සඳහන් කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top