මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටා තිබූ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ අයිතිකරු වන දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයෙකු වූ අනුර ලෙව්කේ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙන අතර අද (29) පස්වරුවේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා පාර ප්‍රදේශයේ පසුගිය 20 වනදා අලුයම පස් මහල් ගොඩනැගිල්ලක් තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් එහි සිටි මාස එක හමාරක් වයසැති බිළිඳියක සහ ඇයගේ මව සහ පියා ජීවිතක්ෂයට පත්විය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන්, එම පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අපරාධ චෝදනා යටතේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විසින් සිදුකරනු ලැබූ දීර්ඝ විමර්ශනයකට අනුව ගිලා බසින ලද එම ගොඩනැගිල්ලේ හිමිකරු අද (29) උදෑසන මහනුවර පොලීස් ස්ථානයට කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
