කොවිඩ් – 19 වසංගත රෝග තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව ද වැඩි අවධානයක් යොමු කළ යුතු අතර සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපැදිය යුතු බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
අද වන විට මෙරට කොවිඩ් වසංගත තත්ත්වයක් තිබුණේ ද යන්න පවා ජනතාවට අමතක වී ඇතැයි ද යුදහමුදාපතිවරයා සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා, “අපිට දින 50ක් වැනි කාලයක් තුළ සමාජයේ කොවිඩ් පැතිර යෑම වළක්වා ගත හැකි වුණා. ඒත් එක්කම සමාජයේ ඉන්න අපේ මහජනතාව අති විශාල කැපකිරීම් කරනු ලැබුවා තත්ත්වය රැක ගන්න. ජනතාවගේ කැපකිරීම් නිසා තමයි දින 50ක් වැනි කෙටි කාලයකින් මේ තත්ත්වය ඇති කර ගත්තේ. නමුත් ඉතින් බොහෝම කණගාටුවෙන් කියන්න ඕනේ මේ රටේ කොවිඩ් තිබුණෙත් නෑ වගේ. මාතර සිද්ධියෙන් පස්සේ නිකටේ දාගෙන හිටිය මුඛ ආවරණය පොඩ්ඩක් උස්ස ගත්තා දවස් දෙක තුනක්. දැන් ආපහු පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. නැව ගැන ආරංචි වුණාම ආපහු මුඛ ආවරණ දාන්න පටන් ගනී. මේක නෙමෙයි තිබිය යුතු තත්ත්වය. අනිවාර්යයෙන්ම කොවිඩ් ආසාදිතයින් රෝහලක හෝ සිටින බැවින් අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා සෑම අවස්ථාවක මුඛ ආවරණ පැළඳ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් පිළිපැඳිය යුතු වෙනවා. අපේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා මේක යුතුකමක්, ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවී සිටිම හා වෙනත් අයෙක්ට කොවිඩ් ආසාදනය නොකර සිටීම.“ යනුවෙන් ද කියා සිටියේය.
