පසුගිය සැප්තැම්බර් 24 වැනි දින කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනා ගැනුණු මාතර ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි රුසියානු ජාතිකයාගේ පී.සී.ආර්. වාර්තාවෙන් වැදගත් තොරතුරක් අනාවරණය වූ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා.
ඔහු සඳහන් කරන පරිදි අදාළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අනුව එම රුසියානු ජාතිකයාට මීට පෙර කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
මෙම රුසියානු ජාතිකයාව හම්බන්තොට රෝහලට රැගෙන ගොස් එහිදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේ දී හෙළිවී ඇති කරුණු අනුව ඔහුගේ ශරීරයේ අඩංගුවී තිබු වෛරස් ප්‍රමාණය අඩු බැවින් පසුව ප්‍රතිදේහ පරික්ෂා කිරීමක් සිදුකළ බව ඔහු පවසනවා. එහිදී මෙම රුසියානු ජාතිකයාට මිට පෙර නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටි අයෙක් බවට හෙළිවූ බවත් ඒ අනුව ඔහුගේ ශරීරයේ වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවීම සිදුවන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි සඳහන් කරයි.
ඒ හේතුවෙන්, මෙම රුසියානු ජාතිකයාගෙන් කිසිදු අයුරකින් වෛරස ව්‍යාප්තියක් සිදුවීමේ ඉඩක් නොමැතිවීම නිසා ඔහුව අද හෝ හෙට දිනයේදී රෝහලෙන් පිටව යාමට ඉඩ ලබා දෙන බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.
මෙම රුසියානු ජාතිකයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහු ඇතුළු පිරිස නවාතැන් ගෙන සිටි හෝටලයේ රෝහල් කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කළ බව පැවසූ වෛද්‍යවරයා ඔවුන් සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට කටයුතු කළ බව කියා සිටියා.
ඒ අනුව, මෙම හෝටලයේ නතරව සිටි සෙසු රුසියානු ජාතිකයින්ගේ පී.සී.ආර්. වාර්තාවන් සෘණාත්මකව තිබුනත් ඔවුන් මේ වන විට දිවයිනෙන් බැහැරව ගොස් ඇති නිසා යම් හෙයකින් ඔවුන් ගෙන් කිසිවෙකුට හෝ වෛරසය ආසාදනය වී තිබීමේ ඉඩක් ඇත්ද යන සැකය මත තවදුරටත් මාතර පොල්හේන ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලයේ කාර්ය මණ්ඩලය දින 14ක කාලයක් නිරෝධායනය ක්‍රියාවලියේ තැබීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කළ බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.
නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ මෙම හෝටලයේ කාර්ය මණ්ඩලයේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් ගැටළු පවතින බව ද මෙහිදී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටියා.
මේ අතර, රුසියානු ජාතිකයා අද (26) දිනයේ දී ඔහුගේ මව් රටට පිටත් කර හැරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනවා.
සම්බන්ධිත පුවත්
- රුසියානු ජාතිකයා මව් රටට පිටත් කර හැරීමට පියවර
- රුසියානු ජාතිකයාට කොවිඩ් වැළඳී නොමැති බවට තහවුරු වෙයි
- මාතර කොරෝනා ආසාදිත රුසියානුවා නිසා පුද්ගලයින් 100කට අධික පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ
- මාතර හෝටලයක නිරෝධායනය වෙමින් සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා
