මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයකට පැමිණි සිටි රුසියානු ජාතික ගුවන් යානා කාර්ය මණ්ඩලය පිළිබඳ කිසිදු තොරතුරක් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත හෝ සෞඛ්‍ය බලධාරීන්ට පෙර දැනුවත් වීමක් කොට නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කරයි.
ඔහු සඳහන් කළේ, රුසියානු ගුවන් සේවයට අයත් යානයක කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කර ඇති මෙම පුද්ගලයින් 15 දෙනා මාතර ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති බවයි. එහිදී ඔවුන් සාමාන්‍ය සංචාරකයින් ලෙස ත්‍රිරෝද රථ යොදා ගනිමින් ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළද සංකීර්ණ ඇතුළු ස්ථාන රැසක සංචාරය කොට ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. එමෙන්ම එම පිරිස ආගිය ස්ථාන සහ ඔවුන් නිරාවරණය වූ පිරිස් සම්බන්ධයෙන් වූ සත්‍ය තොරතුරු මෙම ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින් ලබා නොදීම ගැටළුවක් බව ද ඔහු සඳහන් කළා.
පසුගිය 13 වෙනිදා ඉන්දියාවේ බැංගලෝර් හි සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා පැමිණ ඇති බවත් පසුව එහි සිටි 15 දෙනෙකු ගෙන් යුත් කාර්ය මණ්ඩලය ඉන්දියාවේදී PCR පරීක්ෂණ සිදුකොට පැමිණ ඇති අතර එහිදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කර වාර්තා ඉදිරිපත් කර තිබෙනවා.
පසුව මෙම පිරිස පෞද්ගලික වාහන උපයෝගී කරගනිමින් මත්තල ගුවන් තොටුපොළේ සිට මාතර, පොල්හේන ප්‍රදේශයේ පිහිටි හෝටලයක් කරා ගොස් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කරයි. මෙම පිරිස ගුවන් තොටුපොළෙන් පිටව යෑමේ සිට මාතර ප්‍රදේශයේ පිහිටි හෝටලය කරා ගිය ආකාරය සමබන්ධයෙන් යම් මතභේදාත්මක තත්ත්වයක් පවතින බව ද ඔහු සඳහන් කළා.
ගුවන් කාර්ය මණ්ඩලයේ පිරිස යළි විදේශ ගතවීම සඳහා PCR පරීක්ෂණ සිදුකොට ඇති අතර එහිදී 52 හැවිරිදි පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.
මෙම පුද්ගලයින් රැඳී සිටි හෝටලයේ සේවකයින් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්, මෙම පිරිස භාවිතා කළ ත්‍රිරෝද රථවල රියදුරන් සහ ඔවුන්ගේ සමීපතමයින් ලෙස හඳුනාගත් 110කට ආසන්න පිරිසක් මේ වන විට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් අනාවරණය කර ගෙන ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ ආදිය සිදුකොට නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙම පිරිසට අමතරව තවත් පුද්ගලයින්ට මෙම රුසියානු ජාතිකයින් නිරාවරණය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් වන තොරතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් සොයමින් පවතින බවත් මෙම විදේශිකයින් සත්‍ය කරුණු සැඟවීම නිසා සිය නිලධාරීන්ට ආශ්‍රිතයින් සොයා යෑමේදී දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙම තත්ත්වය මත රටේ සමාජීය ලෙස කොරෝනා ව්‍යාප්තියක් සිදුවීමේ අවදානමක් මේ වන විට පවතින බවට එකහෙළා ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බවත් කොවිඩ් ආසාදිත පුද්ගලයා හරහා ඔහුට නිරාවරණය වූ පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එමෙන්ම, දැනටමත් සිදුකරන PCR පරීක්ෂණ සහ ඉදිරියේදී නිරෝදායන ක්‍රියාවලිය මත සිදුවන කාලයේදී ඇතිවිය හැකි තත්ත්වය මත මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ප්‍රකාශ කළ හැකි බවද ඔහු පැවසුවා.
මෙම රුසියානු ගුවන් කාර්ය මණ්ඩලය මත්තල ගුවන් තොටුපොළෙන් පිටව ගිය ආකාරය සහ ඔවුන් සාමාන්‍ය සංචාරකයින් ලෙස හෝටලයක නවාතැන් ගැනීම හා ප්‍රදේශයේ පුරා සංචාරය කිරීම සම්බන්ධයෙන් රජයේ වගකිවයුතු බලධාරීන්ගේ අවධානයට යොමු කරන බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.
සම්බන්ධිත පුවත්
- මාතර හෝටලයක නිරෝධායනය වෙමින් සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා
- මාතර කොරෝනා ආසාදිත රුසියානුවා නිසා පුද්ගලයින් 100කට අධික පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ
