Advertise with Giraya
NEWS

මාතර හෝටලයක නිරෝධායනය වෙමින් සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා

මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (23) දිනයේ දී සිදුකළ පී.සී.ආර්.පරික්ෂණයක දී තහවුරු වීමත් සමඟ හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින් 15 දෙනෙකු පසුගිය 13 වැනිදා මත්තල ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණ අදාළ හෝටලයේ නැවතී සිට ඇත. රුසියානු ගුවන් යානයක කාර්ය මණ්ඩල සේවකයෙක් වන මෙම පුද්ගලයා ආසාදිතයෙක් ලෙස තහවුරු වීමත් සමඟ මාතර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පැමිණ ඔහුව රෝහල් ගත කළ බව මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එරාජ් වීරසුරිය සඳහන් කරයි.

ඔවුන් අද (24) දිනයේ දී මෙරටින් පිටත්ව යාමට නියමිතව සිට ඇති අතර ඊට පෙර මාතර නගරයේ පුද්ගලික රෝහලකින් පී.සී.ආර්.පරීක්ෂණය සිදු කර ගෙන තිබේ. එහිදී එක් රුසියානු ජාතිකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති අතර අනෙක් පුද්ගලයින් 14 දෙනා හට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇත.

කෙසේ වුවත් මෙම රුසියානු ජාතිකයින් කණ්ඩායමේ සිව් දෙනෙකු මාතර සුපිරි වෙළදසැල් දෙකකට පසුගිය ඉරිදා ත්‍රීරෝද රථයකින් පැමිණ තිබෙන බව ද වාර්තා වේ.

මේ වන විට ආසාදිත රුසියානු ජාතිකයා නවාතැන් ගෙන සිටි හෝටලයේ කාර්ය මණ්ඩලයේ 23 දෙනා සිය ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හබරාදුව ප්‍රදේශයේ පිහිටි නීරෝධායන මධ්‍යස්ථානයකට යොමු කොට ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

මෙම රුසියානු ජාතිකයින් නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලයේ ඇතැම් සේවකයින් නිවෙස් වෙත ගොස් සිට ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද තොරතුරු රැස් කරමින් සිටින බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top