මහනුවර බුවැලිකඩ කඩා වැටුණු පස්මහල් නිවස ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අනුමැතිය ලබාදුන් බවට එම නිවසේ හිමිකරු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී.ටී රාජසේකරන් සඳහන් කරයි.
කඩාවැටුණු නිවස අයත්ව තිබුණේ දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයෙකු වූ අනුර ලෙව්කේ මහතාටය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නියෝජිතයන්ද අදාළ ස්ථානය නිරීක්ෂණය කළ අතර එහි භූ විද්‍යාඥයන් ප්‍රකාශ කළේ පස්මහල් නිවස ඉදිකිරීමේදී භූමියේ පවතින තත්ත්වය කිසිසේත්ම සැලකිල්ලට ගෙන නොමැති බවයි. කෙසේවෙතත්, නිසි අනුමැතින්ගෙන් තොරව නිවස ඉදිකළ බවට එල්ල කෙරෙන චෝදනා නිවසේ හිමිකරු ප්‍රතික්ෂේප කරයි.
මේ අතර, නිලධාරීන් පස් දෙනකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක්ද පත්කර ඇති අතර එම නිලධාරීන් නිවස ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදුන් බව කියන සියලු ආයතනවලින්, ඒ බව සනාථ කෙරෙන ලේඛන ගෙන්වාගෙන පරීක්ෂා කිරීමටද නියමිතයි.
එම පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පහළින් පිහිටි නිවසේ තිදෙනෙකුට ජීවිත අහිමි වූ අතර මුදා ගැනීමේ කණ්ඩායම් විසින් දෙදෙනෙකුගේ දිවි බේරාගෙන තිබුණා. මිය ගොස් ඇත්තේ විවෘත විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරියක් වන 33 හැවිරිදි නීතිඥ අචලා ඒකනායක, ඇයගේ සැමියා වන 35 හැවිරිදි චමිල ප්‍රසාද් හා මාස එකහමාරක් වයසැති ඔවුන්ගේ බිළිඳා යි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශනයක් සිදු කිරීම සඳහා පංච පුද්ගල විමර්ශන කමිටුවක් ද පොලීසිය විසින් පත්කර තිබෙනවා.
එහිදී, යම් හෙයකින් මෙම ගොඩනැගිල්ල අවිධිමත්ව ඉදිකර ඇති බවට කරුණු අනාවරණය වුවහොත් නොසැළකිලිමත් ලෙස ඉදිකිරීමක් කරමින් තිදෙනෙකුට දිවි අහිමි කිරීම සහ දේපළ අලාභහානි කිරීම” සම්බන්ධයෙන් හිමිකරුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන බව මහනුවර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ සඳහන් කරයි.
