Advertise with Giraya
NEWS

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (22) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය. කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (21) පස්වරුවේ පැවති අතර එහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. ඊයේ (21) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එම කමිටුව පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේය.

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමටම සඳහා නව ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කෙරුණු අතර කැබිනට් අනුමැතිය ඊට හිමිවීමත් සමඟ එය ගැසට් මඟින් ප‍්‍රකාශයට පත් කෙරුණි. ඒ අනු,ව පාර්ලිමේන්තුවේදී අද (22) දින සිදුවන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ පළමු වර කියවීමයි.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඕනෑම පුරවැසියෙකුට දින හතක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බවයි. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝග කිරීමටයි.

එලෙස අභියෝග නොකරන්නේ නම් 20 වන සංශෝධනය දින 7 කට පසු පාර්ලිමේන්තුවේදී 2 වන වර කියවීමේ විවාදයට ගත හැකි වනවා.

එහෙත් කිසියම් පාර්ශ්වක් අදාල කාලය තුල 20 වන සංශෝධනය අභියෝගයට ලක් කරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීරණය ඉදිරිපත් කළ යුතුයි. ඒ අදාළ කාල සීමාව තුළ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් හිමි වන්නේ නැහැ.

ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය ලබා දීමෙන් පසු, 20 වන සංශෝධනය 2 වන වර කියවීමේ විවාදය සඳහා ගත හැකි වන අතර එහිදී එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතුයි. ඉන්පසු 03 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේදී 20 වන සංශෝධන පනතේ සියලූම වගන්ති එකින් එක සලකා බැලෙනු ඇති. එහිදී 20 වන සංශෝධන කෙටුම්පතට ඕනෑම සංශෝධනයක් යෝජනා කිරීමටද අවස්ථාව පවතිනවා.

පනත් කෙටුම්පතේ 03 වන වර කියවීමේ විවාදය අවසානයේ ද ජන්ද විමසීමක් පැවැත්වෙන අතර එහිදී ද එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු වනවා. ඉන් අනතුරුව කථානායකවරයා අදාළ පනතට අත්සන් තැබූ පසු එය පිළිගත් නීතියක් බවට පත්වනවා.

මේ අතර, අද (22) දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීම් වේලාව වෙනසක් සිදුවන අතර, ඒ අනුව පෙරවරු 10.00ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට නියමිතයි. පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු සිදුවන අතර පස්වරු 4.30 සිට 5.30 දක්වා කාලය සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවාත.

9 වන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමේ කටයුතු ද අද දිනයේ සිට ආරම්භ වන අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා ඒ සඳහා කාලය වෙන්කර ඇත.

මේ අතර අද පස්වරු 2.30ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් “කෝප්“ කමිටුවේ පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ. අද දිනයේ දී කෝප් කමිටුව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීමට නියමිතය.

ලබන 24 වන දින මහජන පෙත්සම් කාරක සභාව ද රැස්වීමට නියමිත අතර එදින ඒ සඳහා ද සභාපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top