මහනුවර බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ ගිලා බැස ගිය පස්මහල් ගොඩනැගිල්ලේ අයිතිකරු ඇතුළු ඥාතීන් අද (20) පාන්දර 3ත් 4ත් කාලය තුළදී කිසිවෙකුටත් නොදන්වා ගොඩනැගිල්ලෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
මේ පිළිබඳව පොලීසිය හෙට අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද නියමිත අතර මෙම පිරිස ගොඩනැගිල්ල ගිලා බසින බවට කිසියම් තොරතුරක් දැන ඉවත් වූයේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද වාර්තා වේ.
මහනුවර නගරයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටා ඇති බූවැලිකඩ ප්‍රදේශයේ සංඝමිත්තා මාවතේ පිහිටි මෙම ගොඩනැගිල්ල සහිත ප්‍රදේශය අද (20) පස්වරුවේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරින්ගේ ද නිරීක්ෂණයට ලක් වූ අතර එහිදී අදහස් දැක්වූ භූ විද්‍යාඥ සමන්ත කුමාර බෝගහපිටිය සඳහන් කළේ අදාළ ගොඩනැගිල්ල අස්ථාවර භූමියක ඉදි කර ඇති බවයි. එමෙන්ම, ඒ ආසන්නයේ තවත් නිවාස 3 ක පදිංචිව සිටි පිරිසකට ඉන් ඉවත් වීමට දැනුම් දී ඇති බව ද ඔහු කියා සිටියා.
මෙම පස් මහල් ගොඩනැගිල්ල අද(20) අලුයම 5 ට පමණ ගිලා බැසීමකට ලක්වී ඊට පහළින් පිහිටි තවත් නිවසක් සහ හෝටලයක් මතට ද කඩා වැටී තිබී අතර ගොඩනැගිල්ල කඩා වැටී ඊට යටවීමෙන් හෝටලයේ සිටි බිළිදෙකු ඇතුළු පස් දෙනෙකු මුදා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේ අද අලුයම් කාලයේ සිටයි.
එහිදී මෙහෙයුම් කණ්ඩායම විසින් සුන්බුන් තුල සිරවී සිටි 60 හැවිරිදි සහ 25 හැවිරිදි ඥාති කාන්තාවන් දෙදෙනෙකු බේරා ගැණුනා.පසුව, උදෑසන 8.30ට පමණ සුන්බුන් තුළ සිරවී සිට මාස එකහමාරක් පමණ වන බිළිඳාගේ සිරුර සොයා ගැනීමට හැකි විය.
අනතුරුව පස්වරුවේ බිළිඳාගේ දෙමව්පියන්ගේ සිරුරු ද සොයා ගැණුනා. 35 හැවිරිදි චමිල ප්‍රසාද් සහ 32 හැවිරිදි අචලා ඒකනායක මෙලෙස මියගොස් සිටි අතර මොවුන් දෙදෙනා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී විවාහ වී තිබෙනවා.
