කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබීමෙන් පසුව දින 14ක කාලයක් නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටිය දි 23 හැවිරිදි තරුණයෙක්ට නැවතත් කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
මෙම පුද්ගලයා, හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර නිරෝධායනය වෙමින් සිටිය දි හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඔහු පසුගිය මස 6 වනදා ඩුබායි හි සිට මෙරටට පැමිණ තිබූ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන් ඔහු වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබුණි.
එහිදී ප‍්‍රතිකාර කිරීමෙන් අනතුරුව පී සී ආර් පරීක්‍ෂණ 3 ක් සිදුකර ඇති අතර තුන් වන පරීක්ෂණයේදී ඔහු කොරෝනා වෛසරය ආසාදිතයයෙකු නොවන බවට තහවුරු වීමෙන් පසුව ඉකුත් 10 වන දින ඔහුව රෝහලෙන් මුදා හැර ඇත. ඒ, ලබන 24 වන දින දක්වා නිවසේ ස්වයං නිරෝධායනය වීමට උපදෙස් ලබා දීමෙන් අනතුරුවයි.
ස්වයං නිරෝධායනය වෙමින් සිටි කාලයේ ඔහුගේ මවද නිවසේ රැදී සිට ඇති අතර මවද කඩිනමින් හලාවත මහා රෝහලට ඇතුළත් කර පී.සී.ආර්.පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව ද වාර්තා වේ.
