Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බාල තේ නිෂ්පාදනකරුවන් බුද්ධි අංශයේ සහය ඇතිව වැටලීම් සිදු කිරීමට ජනපතිගෙන් පොලිස්පතිවරයාට නියෝග

දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

සීනි, ග්ලූකෝස් වර්ග සහ සෝඩියම් බයිකාබනේට්, පෙරස් සල්පේට් වැනි දුව්‍ය මිශ්‍රණයන් කෙරෙන තේ නිෂ්පාදන ගැන මෑතක සිට මාධ්‍ය මඟින් වාර්තා වේ. එවැනි තේ ලෝක වෙළඳපොලේ දී ප්‍රතික්ෂේප වීමෙන් තේ කර්මාන්තය දැවැන්ත පසුබැසීමකට ගොදුරු වී තිබේ.

රටේ කීර්තිනාමයට මෙන්ම ලෝක වෙළඳපොළේ Ceylon Tea සඳහා ඇති ඉල්ලුමට හානියක් වීමට මින් ඉදිරියට කිසිසේත් ඉඩ දිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

Giraya News Alerts

ගම්මිරිස් වෙළඳපොලට සිදු වූ හානියට තේ කර්මාන්තයත් ගොදුරු වීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා තරයේ කියා සිටී.

ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්හල් හිමියන් සහ අපනයනකරුවන් සමඟ අද (18) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

ලෝක වෙළඳපොලේ තේ සඳහා ඉල්ලුම 65% සිට 45% දක්වා පහළ වැටිමට තේ නිෂ්පාදනයේ ගුණාත්මක පරිහානිය බලපා තිබේ. මෙරට තේ කර්මාන්තශාලා සංඛ්‍යාව 705කි. කර්මාන්තශාලා 45කින් අයථා ක්‍රියාකාරකම් වාර්තා වී ඇති අතර පරීක්ෂණවලින් 18ක නිෂ්පාදන නතර කළ බව තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ පැවසීය.

කසළ තේ සහ අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තේ නිෂ්පාදනය කරන ආයතන වැටලීම බුද්ධි අංශ තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බාලකාය සහ පොලීසිය මඟින් සිදු කෙරේ.

රටට ලැබෙන ආදායමට හෝ තේ කර්මාන්තයට හෝ බාල තේ නිෂ්පාදනයෙන් බාධාවක් වීමට ඉඩ නොතැබිය යුතුය. ඉහළ ගුණාත්මක බවින් යුතු තේ ලෝක වෙළඳපොලට සැපයීමට තේ කර්මාන්තශාලා හිමියන් මෙන්ම අපනයනකරුවන් වගබලාගත යුතුය. බාල තේ නිෂ්පාදනයට ඉඩ නොදෙන අතර එය නොතකා ක්‍රියා කරන කර්මාන්තශාලා වසා දමන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

බුද්ධි අංශයේ සහය ඇතිව අඛණ්ඩව පරීක්ෂණ කර මෙවැනි ආයතන වැටලීම් කරන ලෙස ද ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට නියෝග කළේ ය.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජනාෂිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, වැඩබලන පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීහු සහ තේ කර්මාන්තශාලා හිමියෝ සහ අපනයනකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top