Advertise with Giraya
NEWS

රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීමයි – ජනපති කියයි

තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ම දක්නා මන්දගාමී ක්‍රියාකාරිත්වය කණගාටුවට කරුණක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කරමින් පවතින ඉදිකිරීම් හැම දවසකම එකම මට්ටමක කිරිම නිදසුනකැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි. අරඹා ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළ යුතු යැයි සඳහන් කරන ජනාධිපතිවරයා ආකල්ප වෙනසක් සමඟ සංවර්ධන පෙරළියකට සූදානම් වන මෙන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ග්‍රාමීය හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත පුවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.

Giraya News Alerts

“සෑම පවුලකටම සුව පහසු නිවසක්” හිමිකර දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපේක්ෂාවක්. නිවසක අවශ්‍යතාවය තිබුණත් එය තනිව සපුරා ගත නොහැකි වීම බහුතරයකට ඇති ගැටළුවක්. නාගරික ග්‍රාමීය සහ වතු ජනතාවගේ නිවාස හිඟය විසඳිය යුත්තේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ යන අයුරින් බව ජනාධිපතිවරයා එහිදි අවධාරණය කර තිබෙනවා.

“ඔබට ගෙයක්, රටට හෙටක්ඞ සංකල්පය තේමා කර ගනිමින් තම අමාත්‍යාංශය දැනටමත් ග්‍රාම සේවා වසම් මට්ටමින් අඩු ආදායම්ලාභීන්ට නිවාස 14,022ක් ඉදිකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනරුද්ධ එහිදී සඳහන් කර තිබේ. මේ ව්‍යාපෘතිය යටතේ වසර 05 අවසන නිවාස 70,100ක් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.

ඔක්තෝම්බර් 05 වැනි දිනට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව “සපිරි මහල් නිවාස වැඩසටහන” යටතේ වැරැල්ලවත්ත, මිහිඳුපුර, පරංගියාකුඹුර, දහයියාගම, මත්තේගොඩ, සොයිසාපුර ස තංගල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් නිවාස ඒකක 1500ක් ඉදිකිරීමට සඅලසුම් කර ඇතැයි ද අමාත්‍ය ඉන්දික අනුරුද්ධ එහිදී පවසා ඇත.

සියලු ඉදිකිරීම්වලට රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ ම සහභාගි කරවා ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා එම අවස්ථාවේ දී පෙන්වා දී තිබෙනවා.

නිවාස මිලදී ගැනීමට 6.25% වාර්ෂික පොලී අනුපාතයකට තිස් වසරකින් ගෙවී අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මඟින් ණය දීමේ ක්‍රමයක් සැකසේ. මධ්‍යම පාන්තකයන්ගේ ආදායමට ගැළපෙන මහල් නිවාස ඉදිකිරීම් සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය ඉඩම් නොමිලේ සපයන බව ජනාධිපතිතුමා පවසයි.

උතුරු පළාතේ සුබසාධන කඳවුරු 22ක වෙසෙන අවතැන් වූ පවුල් 409ක් නිවාස තනා නැවත කඩිනමින් පදිංචි කරවීමට පියවර ගන්නැයි ද ජනාධිපතිතුමා විසින් එම සාකච්ඡාවේදි උපදෙස් ලබා දී ඇත.

රටපුරා පවුල් 526,000කට අධික සංඛ්‍යාවකට වැසිකිලි නැති බව පෙන්වා දුන් ආර්ථික පුනර්ජිවනය පිළිබඳ ජනාධිපති කාර්යා සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කඩිනම් කරන්නැයි කියා සිටියේ ය.

පැරණි මහල් නිවාස සංකීර්ණවල මලපවාහන පද්ධති නඩත්තු කළ යුතුව ඇතැයි ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එමෙන්ම, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යළ පණ ගැන්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, සංස්ථාවේ ප්‍රාදේශීය ශාඛා ගොඩනැගිලි දුව්‍ය සපයන නියෝජිතයෙකු ලෙස යොදාගත යුතු යැයි ජනාධිපතිතුමා එහිදී යෝජනා කර තිබෙනවා.

ගොඩනැගිලි දෙපාර්තුමේන්තුව, රජයේ කර්මාන්තශාලා දෙපාර්තුමේන්තුව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ඉදිකිරීම් සංවර්ධණ අධිකාරිය යන ආයතනවල වත්මන් තත්ත්වය සහ ඒවා සංවර්ධනයට ගත යුතු ක්‍රියාමාර්ග දීර්ඝ ලෙස එහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

ඉදිකිරීම් සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල පෙරළියක් ඉදිරි වසරේ සිට අපේක්ෂා කරන බැවින් මේ සියලු ආයතන දැඩි උද්යෝගයෙන් සේවා සම්පාදනය කළ යුතු බව බැසිල් රාජපක්ෂ එහිදී අවධාරණය කළේ ය.

නිවාස, මාර්ග, පාලම් සහ වැව් විශාල සංඛ්‍යාවක් ඉදිකිරීමට හා ප්‍රතිසංස්කරණයට රජය සැලසුම් කර තිබේ. නාගරික සංවරධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සියලු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන ඉදිකිරීම්වලට දායක කර ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතනවල ප්‍රධානීහු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෞද්ගලික නියෝජිතයෝ ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක් වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top