Advertise with Giraya
Environment

මිල්ලනියේ ජලභීතිකාව වැළඳුන නරින්ගෙන් ප්‍රවේශම්වෙන්නැයි ඉල්ලීමක්

කලුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය හා ඒ ආසන්න ප්‍රදේශවල වනාන්තරවල ජලභීතිකාව වැළඳුණු නරි ගැවසෙන බැවින් එම ප්‍රදේශවල දරුවන් තනිව පාසල් යැවීමෙන් වළකින්නැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (වනජීවී සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා එම ප්‍රදේශවල වැසියන්ගෙන් ඉල්ලිමක් කරයි.

තවද, එම ප්‍රදේශවල ගැවසෙන නරින්ගෙන් ජලභීතිකාව පැතිර ඇතැයි විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේ ය. මේ වන විට ජලභීතිකාව වැළඳුණ නරි පස්දෙනෙක්, සුනඛයින් සිව්දෙනෙක්, ගවයින් සිව්දෙනෙක් හා පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇතැයි ද රෝග පාලනයට ගත හැකි සියලු පියවර ගනිමින් සිටින බව ද වෛද්‍ය තාරක ප්‍රසාද් පැවසුවේය.

සාමාන්‍ය නිරෝගී නරියකු මිනිසෙකු- දුටුවිට පළා යන නමුත් රෝගී සතෙකු මිනිසුන් පසුපස එළවා ගෙන එන බැවින් උන් පසුපස හඹා නොයන්නැයි ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම, මේ වන විට නරි ගහණය සීග්‍රයෙන් වැඩිවෙමින් පවතින බවත් ඔහු පැවසුවේ ය.

වෛද්‍ය තාරක ප්‍රසාද් මේ අදහස් පළ කළේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ය. එහි දී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා කියා සිටියේ දෙපාර්තමේන්තුවේ පළමු පරමාර්ථය ජනතාව අතරට රෝගය පැතිරයාම වැළැක්වීම යැයි ද මේ වනවිට එම ප්‍රදේශවල සුනඛයින් එන්නත් කර අවසන් බව ද කීය.

එසේ වුවද සුනඛයකු එන්නත් කළ නොහැකි වූ අයෙක් වේ නම් හැකි ඉක්මණින් එම සතුන් එනනත් කරවන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය

මේ අයුරින්, රෝගී සතුන් ගැන සැළවුවහොත් වහා 1992 අංකය අමතන්නැයි ඉල්ලා සිටි වෛද්‍ය තාරක ප්‍රසාද් වනජීවී නිලධාරින් එවිට එම සතා පරිසරයෙන් ඉවත් කරන්නට කටයුතු යොදනු ඇතැයි සඳහන් කළේ ය.

මේ තතත්වය සමනය කරන්නට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇතැයි විශ්වාස කරන බැවින් එම කාලසීමාව ප්‍රවේශම් සහගත ලෙස ගත කරන්නැයි කලුතර දිස්ත්‍රික් ජනතාව ගෙන් ඉල්ලා සිටි වෛද්‍යවරයා මෙම රෝගය මිල්ලනිය පෙදෙසින් පහළට පැතිර නොයනු ඇතැයි සිතන්නේ අධිවේගී මාර්ගය හේතුවෙන් සතුන් එම පෙදෙසට සංක්‍රමණය නොවන බැවින් යැයි ද එහෙත් මිල්ලනියෙන් උතුරට හා දකුණට පැතිර යන්නට හැකියාව ඇති බව ද පෙන්වා දුන්නේය.

පොලිසිය ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, පශූ වෛද්‍ය නිලධාරි, වනජීවී නිලධාරි, සහ ප්‍රාදේශීය සභාව යන ආයතන හා නිලධාරින් එක්කර වට්ස්ඇප් මගින් කණ්ඩායමක් හදා ඇති බවත් සියලු තොරතුරු නිරන්තර ඒ ඔස්සේ හුවමාරු කර ගන්නා බවත් කී අධ්‍යක්ෂවරයා හැකි තාක් ජනතාව දැනුවත් කිරීම කළ යුතු බවත් කීය.

මේ අතර ගවයින්ට ජලභීතිකා එන්නත ලබා දීමට ගව හිමියන් පියවර ගත යුතු බව පෙන්වා දුන් ඔහු නරින්ට එන්නතක් ආහාර සමඟ දීමෙන් රෝග පාලනයට උත්සාහ දරන බවත් ඒ සඳහා විදේශාධාර ලබාගනිමින් සිටින බවත් කියා සිටියේය.

එමෙන්ම රෝගයෙන් මියගිය නරියකු දුටුව හොත් ඒ ගැන අදාළ අංශයකට දන්වන්නැයි ද එම හිස වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යැවීමට කටයුතු කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top