ආනයනය විධිමත් කිරීම සහ ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් කිරිම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා පසුගිය අප්‍රේල් 01 වැනි දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි විය.
ඒ අනුව, ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපතිත් ප්‍රකාශය අනුව ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම හා පුනර්ජීවනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් තීරු බදු නිර්ණය කිරීමේ කමිටුව පත් කළ අතර එම කමිටුවේ නිර්දේශ පරිදි අන්තර්කාලීන පියවරක් වශයෙන් ආනයන විධිමත් කිරීම සඳහා ආනයනික භාණ්ඩ, කාණ්ඩ 03කට වර්ගීකරණය කිරීමට අවශ්‍ය නිර්දේශයන් ලබා දී තිබෙනවා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඊයේ (16) දිනයේ දී පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී පහත සඳහන් පරිදි කටයුතු සිදු කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් කළ යෝජනා සඳහා අනුමැතිය හිමිව තිබේ.
- දේශීයව වගා කළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සහ මෝටර් වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීම.
- සැපයුම්කරුවන් විසින් ලබා දෙන ණය පහසුකම් මත හෝ විදේශ විනිමය වැය නොවන පදනම මත තෝරා ගත් භාණ්ඩ ආනයනය සඳහා අවසර ලබා දීම.
- දේශිය කර්මාන්ත, කෘෂිකර්මාන්තය, අපනයන සැකසුම් සහ දේශිය පරිභෝජනය සඳහා අවශ්‍ය තෝරා ගත් භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.
