Advertise with Giraya
NEWS

‘කොවිඩ් දෙවන රැල්ලක අවදානම මුළුමනින්ම පහව ගොස් නැහැ’ – වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ

කොවිඩ් දෙවන රැල්ලක අවදානම මුලුමනින් ම රටෙන් පහව ගොස් නැති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද (16) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

එමෙන්ම, යම් හෙයකින් එවන් තත්ත්වයක් මතුවුවහොත් වැඩිම බලපෑමට ලක්වන පාර්ශවය රටේ පාසල් දරුවන් බවත්, මේ නිසා නොතකා හැරීම් සහ නොසැලකිලිමත්වීම වෙනුවට සෑම මොහොතක ම පූර්ණ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ ස්වයං විනය පවත්වාගැනීමට සියලු දෙනාම වගබලාගතයුතු බව ද වෛද්‍යවරයා එහිදී අවධාරණය කළේ ය.

වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පෙන්වා දුන්නේ, කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් රට තුළ කොවිඩ් පාලනය වී ඇති බව හා ලෝකයේ සෙසු රටවල් අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යහපත් තත්ත්වයක පසුවන නමුත් ලෝකයේ සෞඛ්‍යාරක්ෂිත රටවල් අතර තවමත් අප සිටින්නේ යහපත් මට්ටමක නොවන බවයි.

මේ නිසා, යම් හෙයකින් කොවිඩ් -19 දෙවන රැල්ලක් මතු වුවහොත් ඒ සදහා මුහුණ දීමට රටක් වශයෙන් අප සූදානම්විය යුතු බවද ඔහු සඳහන් කළා. ඒ සඳහා දැඩි සත්කාර ඒකකයේ මේ වනවිටත් පවත්නා ඇඳන් සංඛ්‍යාව, රට තුළ දිනකට සිදුකළ හැකි කොවිඩ් පරීක්ෂණ ප්‍රමාණය, වෛද්‍ය කාර්ය මණ්ඩලවල හා රෝහල්වල ධාරිතාව, පාලනය සඳහා පවතින ඖෂධ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතු බවත්, අවදානමට මුහුණදීමට වඩා පෙර සූදානමකින් යුතුව අවදානම තුරන් කරගැනීම වෙනුවෙන් පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කළා.

මීට අමතරව, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා තිබූ පාසල්, සියලු ශ්‍රේණිවල දරුවන් සඳහා මේ වනවිට විවෘත කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති නිර්දේශ හා උපදෙස් අකුරටම පිළිපදිමින් පාසල් පවත්වාගත යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් ප්‍රධානීන් ද දැනුවත් කර තිබෙනවා.

එහෙත් පාසල් පරිශ්‍රය තුළ විශබීජහරණය, දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම ඇතුළු කොවිඩ් පාලන උපදෙස් කෙරෙහි දෙමව්පියන්, ගුරුවරුන්, සිසුදරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව මේ වනවිට අඩු අවධානයක් යොමු කරන බවට ඇතැම් පාසල් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ නිසා, විශේෂයෙන් ම පාසල් ප්‍රවාහන සේවා සැපයීම, පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම ඇතුළු පාසල් දරුවන් සෘජුව සමාජයට මුදාහැරෙන සෑම අවකාශයක් තුළ ම ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමේ සමාජ වගකීම පාසල් බලධාරීන් ප්‍රමුඛ පාසල් ප්‍රජාවට පැවරෙන අතර, දරුවන්ගේ අසනීප තත්ත්වයන්හිදී දැඩි අවධානය යොමුකරමින් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි උපරිම ලෙස සැලකිලිමත් විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

මේ සඳහා, තව දුරටත් පාසල් ප්‍රධානීන් ඇතුළු සමස්ත ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය සහ ඉ-තක්සලාව ඇතුළු මාධ්‍යයන් ද යොදාගනිමින් විශේෂ කඩිනම් පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ නීල් ගුණදාස සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top