කොවිඩ්-19 ගෝලීය වසංගත තත්වයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටක් වන්නේ ශ්‍රී ලංකාව බව අවිවාදිතය. මේ වන තුළ රට අභ්‍යන්තරයෙන් නව ආසාදිතයින් වාර්තා වීම අතිශය සීමිත වී ඇති අතර සාමාන්‍ය සමාජය තුළ වෛරය ආසාදිතයින් හමු වන්නේ නැත. එහෙත් කන්දකාඩු කොරෝනා පොකුර තවමත් සක්‍රීය මට්ටමේ පවතින අතර මේ වන විටත් රට තුළ දී වෛරසය ආසාදනය වූවන් 11 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.
මතුපිටින් පෙනෙන තත්වය එවැනි ආකාරයෙන් පැවතුන ද දිගින් දිගටම විදේශන්ගේ සිට ශ්‍රී ලාංකිකයින් සහ විවිධ අරමුණු සඳහා වන සීමිත විදේශිකයින් ප්‍රමාණයක් රට තුළට පැමිණෙමින් සිටී. එයින් පැමිණෙන අයගෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් කොරෝනා ආසාදිතයින් බව මේ වන විට තහවුරු වී තිබේ. සැප්තැම්බර් මාසය පළමු දින 14 තුළ වාර්තා වී ඇති නව ආසාදිතයින් ගණන 212ක් තරම් විශාල ප්රමාණයකි. මේ අතර එක් කොරෝනා මරණයක් ද වාර්තා වී තිබේ. ඔහු කොරෝනා ආසාදියෙකු ලෙස වාර්තා වී නොතිබූ අතර නිරෝධායනයට ලක් කර සිටිය දී ඇති වූ හෘදයාබාධයකින් මියගිය පසු සිදුකළ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිතයෙකු බව වාර්තා වීම සුවිශේෂී තත්වයකි. අගෝස්තු මාසයටම වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 256කි. සැප්තැම්බර් මාසයේ පළමු දින 14 තුළදීම ඊට ආසන්න ප්‍රමාණයක් වාර්තා වීම සුළුකොට තැකිය නොහැක.
මේ වන විට වාර්තාවන නව ආසාදිතයින් අතරින් සැළකිය යුුතු පිරිසක් ගුවන්තොටුපළේ දී සිදුකරන පීසීආර් පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා නොවී පසුව නිරෝධායන කාල සීමාව තුළ වාර්තා වන පිරිස් වෙති. නිරෝධායනයෙන් පසු නිවෙස් වෙත යන අදාළ පුද්ගලයින් තවත් දින 14ක් නිවෙස් නිරෝධායනයට ලක් කෙරුන ද ඔවුන් සම්බන්ධයෙන් මුල් කාලයේ මෙන් අවධානයකින් සිටින බවක් මාධ්‍ය ඔස්සේ දකින්නට නැත.
දැන් බොහෝ ශ්‍රී ලාංකිකයින් මනසින් කොරෝනා පරාජය කර ඇති සේ හැසිරෙයි. එබැවින් සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද පවා නිසියාකාරව පිළිපැදීමක් සිදුනොවේ. සුපිරිවෙළඳසැල්වල උණ බලන්නේ පුරුද්දට මෙනි. අඩුම තරම් එම උපකරණය ඇඟට අල්ලා පරීක්ෂා කරන පුද්ගලයා එහි සටහන් වන අගය බැලීමට තිරය දෙසවත් බලන්නේ නැති අවස්ථා එමට ඇත.
මේ තත්වය නිසා යම් හෙයකින් විදේශයන්ගේ සිට පැමිණෙන ආසාදිත පුද්ගලයින් සමාජයට නිරාවරණය වීමක් සිදුවුවහොත් රට තුළ යළිත් වේගයෙන් කොරෝනා වෛරසය පැතිරීමට ඉඩ ඇත. එය විශාල මෙන්ම බරපතල අවදානමකි.
විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන් සමාජය තුළ කොවිඩ්-19 රෝගය වාර්තා නොවුණ ද, එය රට තුළ පැතිරීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ද ඊයේ (14) පැවසීය.
“යම්කිසි ලෙස අපට මඟහැරුණු හෝ අපෙන් ගිලිහීගිය කොවිඩ්-19 රෝගියෙකු මේ සමාජය තුළ සිටියහොත්, කොවිඩ්-19 රෝගියෙක් ලෙස හෝ රෝගීන් පොකුරක් ලෙස යම් දවසක වාර්තා වෙන්නට පුළුවන්, ඒ තුළින් අපේ සමාජය තුළ කොවිඩ්-19 රෝගය ව්‍යාප්ත වීමේ විශාල අවදානමක් තිබෙනවා. ඒ නිසා අපි සියලුදෙනා, මේ පිළිබඳ අවධානය යොමුකරලා කොවිඩ් -19 රෝගයට එරෙහිව කටයුතු කිරීමට සහ කොවිඩ්-19 රෝගය පැතිරීම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග ගන්නට ඕනේ.“ යැයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අවධාරණය කළේ එබැවිනි.
