ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් ගණන 3234ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (13) දිනය තුළ දී නව ආසාදිතයින් 39 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සියළුදෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
ඔවුන්ගෙන් එක් අයෙක් රතු මුහුද ආශ්‍රිතව සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙක් වේ. තවත් එක් අයෙක් තායිලන්තයේ සිට පැමිණි යුක්රේන ජාතිකයෙකි. වාර්තා වූ අනෙක් ආසාදිතයින් අතරින් 6 දෙනෙකු කුවේට් සිට ද, දෙදෙනෙකු මාලදිවයිනේ සිට ද, එක් අයෙක් ඉතියෝපියාවේ සිට ද, 16 දෙනෙකු කටාර් සිට ද, 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද මෙරටට පැමිණි පුද්ගලයින් වේ.
එමෙන්ම, ඊයේ (13) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, වාර්තා වූ සමස්ත රෝගින් අතරින් 2996 දෙනෙකු ම සුවය ලබා ඇත.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 226ක් වේ. තවත් පුද්ගලයින් 49 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 12කි.
