ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස නම් කර සිටින මිලින්ද මොරගොඩ, ඊට පත්කිරීමට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන එකමුතුව විසින් උසස් නිලතල පිළිබඳ කාරක සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ජාතික සංවිධාන එකමුතුවේ ලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින් යොමු කරන ලද ලිපියෙන් කියා ඇත්තේ එම පත් කිරීම සිදුකළහොත් මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇති බැවින් මිලින්ද මොරගොඩ අදාළ තනතුරට පත් කිරීම සඳහා නිර්දේශ නොකරන ලෙසයි.
සම්පූර්ණ ලිපිය පහතින්.
“ඉන්දියානු තානාපති ලෙස පත්කොට ඇති මිලින්ද මොරගොඩ මහතාගේ පත්කිරීමට එරෙහිව විරෝධය පළ කිරීම
මිලින්ද මොරගොඩ මහතා ඇමෙරිකානු රජයේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කොට ඇති බව 2002 සිට ඇමෙරිකානු තානාපතිවරුන් 4 දෙනෙකු විසින් යවන ලද කේබල් පණිවිඩ 150 කට අධික ප්‍රමාණය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන බව බොහෝ පාර් ශව විසින් හෙළිදරව්කොට ඇත. ‘Wickileaks’ මඟින් එළිදරව් වූ එම පණිවිඩවල ඔහු ඇමෙරිකානු ඔත්තුකරුවෙකු බව සෘජුව සඳහන් නොවේ. නමුත් එම කේබල් බොහෝමයක යටි පෙළ කියවීමේදී ඒ බව ඉතා හොඳින් පැහැදිලිවේ.
ඊට අමතරව ඔහු රාජ්‍ය දේපළ අවතක්සේරු කොට තමාට හිතවාදී පුද්ගලික ආයතන වලට විකිණීම සඳහා තම අමාත්‍ය බල තල අයුතු ලෙස යොදාගෙන ඇති බව නඩු තීන්දු දෙකකින් ප්‍රකාශයට පත්විය. ඊට අනුව ඔහුට විරුද්ධව නඩු දැමිය යුතු බවට අධිකරණය විසින් නීතිපතිවරයාට දන්වා ඇති බැවින් ඕනෑම අවස්ථාවක ඔහු චූදිතයෙකු බවට පත් කොට අධිචෝදනා බාර දීමේ හැකියාව ඇත.
එවැනි පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාල ප්‍රභල බලපෑමක් කළ හැකි රටක මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම මගින් සමස්ථ තානාපති සේවය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇති බැවින් මිලින්ද මොරගොඩ මහතා අදාල පත් කිරීම සඳහා නිර්දේශ නොකරන ලෙස ඉල්ලා සිටිමි.
මෙම ගැටළුව පිළිබඳව ජනමාධ්‍ය වලට මා විසින් නිකුත් කළ ලිපියක පිටපතක්ද මේ සමග අමුණා එවමි.
ස්තූතියි, මේ වගට,
වෛද්‍ය වසන්ත බණ්ඩාර, විධායක කමිටු සාමාජික, ජාතික සංවිධාන එකමුතුව.”
