සැලැස්මක් සහිතව ඉදිරි වැඩ ක්‍රියාවට නංවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) රාජ්‍ය අමාත්‍යවරුන්ට උපදෙස් දුනි. ඒ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවකදීය.
රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යූහය සකස් කර ඇත්තේ වසර කිහිපයක් තුළ හඳුනාගත් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට හැකිවන අයුරින් බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
“සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කරන්න පිළිවන්. ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ, හැමතැනම කුණු ගොඩවල්. එදා මගේ නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 3ක්. කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්. හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යන්න පිළිවන්” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.
“ඔබටම පැහැදිළි ඇති මේ අමාත්‍යාංශවලින් කොපමණ වැඩ ප්‍රමාණයක් කළ හැකිද යන්න” පොදු ප්‍රතිපත්තියක් මත ඇමතිවරයා සමග එකඟත්වයෙන් වැඩ කරන්න වගකීම බාර දී තිබෙනවා. ජනතා අපේක්ෂා ඉටුකිරීම අපේ යුතුකමක්. නිලධාරීනුත් හවුල්කරගෙන ඔබේ වගකීම ඉටුකරන්න” යැයි ජනාධිපතිවරයා රාජ්‍ය ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
‘හරි සර්, සියල්ල හරි කියා නිලධාරීන් කියන්න පිළිවන්. ඒ සැලසුම් තියෙන්නේ ෆයිල් එකේ. සැලසුම් ෆයිල් එකේ තියලා ඵලක් නැහැ. ඒවා බිමට ගේන්න ඕනේ. ඒ තමයි රාජ්‍ය අමාත්‍යවරයාගේ වගකීම’ ජනාධිපතිතුමා එහිදි පෙන්වා දුන්නේ ය.
වෙනසක් කරන බවට ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දුව සිහිපත් කළ ජනාධිපතිතුමා, වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට සපථ කළේ ය. ‘ඒ වගකීම මට තිබෙනවා. ඔබටත් තිබෙනවා. ඊට අමතරව, ඔබේ දේශපාලන ජීවිතය හැඩගස්වා ගැනීමටත් මෙය අවස්ථාවක්’ යැයි ජනාධිපතිවරයා පැවසීය.
