ප්‍රංශය , ඇෆ්ඝනිස්ථානය, ජපානය , ඉන්දියාව, ඇමරිකාව සහ චීනය යන රටවල් සඳහා නව රාජ්‍ය තාන්ත්‍රිකවරු පත් කිරීම සඳහා පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියට යොමු කර තිබෙනවා. අදාළ තනතුරු සඳහා නම් කර ඇති පුද්ගලයින්ගේ යෝග්‍යතාව පරික්ෂා කර බැලීම මෙහිදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ද , ඇෆ්ඝනිස්ථානයේ නව ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් (විශ්‍රාමික) පියල් ද සිල්වා ද, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විශ්‍රමාල් සන්ජීව් ගුණසේකර ද නම් කර තිබෙනවා.
එමෙන්ම, අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රවිනාත් අරියසිංහ ද, චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස නම් කර ඇත්තේ ආචාර්ය පාලිත කොහොන ද නම් කර තිබෙනවා. මීට අමතරව, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ නම් කර තිබෙනවා.
මෙම නව ශ්‍රී ලංකා තානාපතිවරු පත් කිරීම් වලට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා එම නම් මේ වන විට උසස් නිල තල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කර ඇති අතර අදාළ අනුමැතීන් ලැබුණු වහාම ඔවුන් එම තානාපති ධූරයන්හි රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇතැයි ද වාර්තා වෙනවා.
ප්‍රංශයේ නව තානාපතිනිය වශයෙන් නම් කරනු ලැබ සිටින මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම 2008 වසරේ සිට 2013 දක්වා කාලය තුළ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිනිය වශයෙන්ද , ඉන්පසුව එම වසරේදීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති වශයෙන් පත්වීම් ලැබූ අතර එම ධූරයට පත් පළමු කාන්තාවද ඇය වූවාය.
ඇෆ්ඝනිස්ථානයේ නව ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් ( විශ්‍රාමික) පියල් ද සිල්වා ද 2019 ජනවාරි 01 වැනිදා සිට මේ වසරේ ජූලි 20 දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී විශ්‍රාම ගනු ලැබුවේ අද්මිරාල් ධූරයට උසස්වීම් ලබමිනි. අද්මිරාල් පියල් ද සිල්වා සිය සේවා කාලය තුළ වීර වික්‍රම විභූෂණ , රණ වික්‍රම පදක්කම , රණ සූර පදක්කම , විශිෂ්ඨ සේවා විභූෂණ සහ උත්තම සේවා පදක්කම යන පදක්කම් වලින් පිදූ විශිෂ්ඨ නාවින හමුදා නිලධාරියෙකු වේ.
ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් වීම ලැබ සිටින විශ්‍රමාල් සන්ජීව් ගුණසේකර ඇමෙරිකාවේ සහ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වේ.
චීනයේ තානාපතිවරයා ලෙස නම් කර ඇති රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන පාලිත කොහොන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කර තිබේ. එමෙන්ම 2006 සිට 2009 වසර දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද ආචාර්ය පාලිත කොහොන කටයුතු කර ඇත.
ඇමරිකාවේ නව තානාපතිවරයා ලෙස නම් කර ඇති රවිනාථ ආරියසිංහ, 2008 අප්‍රේල් සිට 2012 ජුනි දක්වා කාලයේ බෙල්ජියමේ හා ලක්සම්බර්ග්හි ශ්‍රී ලංකා තානාපතිවරයා මෙන්ම, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද ඒ කටයුතු කළේය. ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස හා ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස 2012 ජුලි මස සිට 2018 මාර්තු මස දක්වා කටයුතු කළ රවිනාථ ආරියසිංහ ඊට සමගාමීව වතිකානුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද සේවය කළේය. රවිනාථ ආරියසිංහ 1995 – 2000 හා 2007 – 2008 යන කාලය තුළ පොදු සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරද හෙබවීය.
ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස නම් කර ඇති මිලින්ද මොරගොඩ 1994 සිට 1995 දක්වා හාවඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ වදර්හෙඩ් මධ්‍යස්ථානයේ විද්වද් පර්ශද සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලන අත්පොත් තැබීමට පෙර ඔහු මර්කන්ටයිල් මර්චන්ට් බෑන්ක් ලිමිටඩ් ආයාතනයේ ආරම්භක සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
මෙම නව පත් කිරීම් සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකුට කරුණූ දැක්විය හැකි අතර එම කරුණු දැක්වීම සැප්තැම්බර් 23 වන දින හෝ එදිනටට පෙර ලිඛිතව දැනුම්දිය යුතු බව උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව දැනුම් දී ඇත. මෙම නව රාජතාන්ත්‍රිකයින් පත් කිරිමට අදාළව උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ඇනුමැතිය හිමි වූ වහාම ඔවුන් අදාළ තනතුරුවල රාජකාරි කටයුතු ආරම්භ කිරිමට නියමිතය.
