මරණ දඩුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගීවීමට අභියාචනාධිකරණය අවසර දී තිබෙනවා. ඒ ඔහු විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් අද (07) නැවත කැඳවනූ ලැබූ අවස්ථාවේදීයි.
එහිදී, ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාව සලකා දෙන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බන්ධනාගාර අධිකාරිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී
මෙම නියෝගයේ පිටපත් බන්ධනාගාර කොමසාරිස්වරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත යොමු කරන ලෙසටද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල දැනුම් දී තිබෙනවා.
එමෙන්ම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමටද අභියාචනාධිකරණය නියෝග කල අතර පෙත්සම වැඩිදුර සළකා බැලීම ලබන 29 වනදා සිදුකිරිමට නියමිතයි.
2015 ජනාධිපතිවරණ සමයේදී කහවත්තේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාළව ප්‍රේමලාල් ජයසේකර ඇතුලූ 03 දෙනෙකුට මරණ දඩුවම නියමවූයේ මෙවර මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමට දින 02 කට ඉහතදීයි.
