Advertise with Giraya
NEWS

අයහපත් කාලගුණය නිසා විදෙස් විශේෂඥයින්ට ‘නිව් ඩයමන්ඩ්’ නෞකාව නිරීක්ෂණය කිරීමට නොහැකි වෙයි

නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ MT New Diamond නෞකාව පිළිබඳ සොයා බැලීම සඳහා 11 දෙනෙකුගෙන් සමන්විත තවත් විදේශීය විදේශඥයින් කණ්ඩායමක් ඊයේ (06) රාති‍්‍රයේ මත්තල ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා. PCR පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව එම විශේෂඥයින් පිරිස කල්මුණේ ප‍්‍රදේශයට ගමන් කරමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කරයි.

මේ අතර, MT New Diamond නෞකාව පිළිබඳ සොයා බැලීම සඳහා මීට පෙර මෙරටට පැමිණි විදේශීය විශේෂඥයින් පිරිස නාවික හමුදාවට අයත් ඩෝරා යාත‍්‍රාවක තවදුරටත් රැඳී සිටින බව ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා. මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් MT New Diamond නෞකාව ආසන්නයට ගමන් කිරීමට නොහැකිව ඔවුන් මෙලෙස එම ඩෝරා යාත‍්‍රාව තුළ රැඳී සිටින බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම, නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් මෙරට සාගර කලාපයට සිදුවූ බලපෑම් සහ එම සිද්ධියේදී ශී‍්‍ර ලංකා රජයට සිදුවූ අලාභය සහ වියදම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා.

එම විශේෂඥ කමිටුව අද (07) රාති‍්‍රයේ හෝ හෙට (08) උදෑසන කාලය තුළ, නෞකාව පවතින ස්ථානයට ගොස් අදාළ නිරීක්ෂණයන් සිදු කිරීමට නියමිත බවයි ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර සඳහන් කළා.

අදාළ සිද්ධිය හේතුවෙන් මෙරට සමුද්‍රීය පරිසරයට සිදුවූ හානි සහ ශී‍්‍ර ලංකා රජයට දැරීමට සිදුවූ වියදම් හා අලාභය සම්බන්ධයෙන් පූර්ණ ඇස්තමේන්තුවක් සිදුකර තක්සේරු වාර්තාවක් පිළියෙල කරන ලෙස නීතිපතිවරයා විසින් ඊයේ (06) උපදෙස් ලබා දුන්නා. ඒ, MT New Diamond ගින්න පාලනය ඇතුළු මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදුන් ආයතනවල නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී ය. අදාළ වාර්තාව සකස් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කෙරුණේ ද ඒ අනුවයි.

මේ වනවිට, MT New Diamond නෞකාව දිවයිනට නැගෙනහිරින් නාවික සැතපුම් 29 ක් දුරින් පවතිනවා. කෙසේවෙතත්, ඊයේ දිනයේදී නාවික සැතපුම් 33 ක් දුරින් මෙම නෞකාව පැවතියා. මෙම නෞකාවේ හටගෙන තිබූ ගින්න ඊයේ දිනයේදී සම්පුර්ණයෙන් නිවා දමා තිබුණත්, ඊයේ (06) රාති‍්‍රයේ යළිත් නෞකාව තුළ සුළු ගිනි ගැනීම් තත්ත්ව 02 ක් වාර්තා වූ බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවා. එම ගිනිගැනීම් තත්ත්වයන් ද මේවනවිට සම්පූර්ණයෙන් පාලනය කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top