Advertise with Giraya
NEWS

ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් ඇතුළු කාර්යමණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සාකච්ඡාවක්

නැගෙනහිර මුහුදේ දී MT New Diamond නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්යමණ්ඩලයට එරෙහිව ගත යුතු නීතිමය කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (06) පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව වාර්තා වේ. MT New Diamond නෞකාවේ හටගත් ගින්න නිවා දැමීමේ මෙහෙයුම්වලට එක්ව සිටින පාර්ශ්ව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් ඊට එක්වීමට නියමිතයි.

එහිදී, ගින්න හටගත් අවස්ථාවේ නෞකාවේ කපිතාන්වරයා නිසි ආරක්ෂණ ක‍්‍රමවේදයන් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් ගතයුතු නීතිමය කි‍්‍රයාමාර්ග සහ රක්ෂණ වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර සඳහන් කරයි.

මේ අතර, MT New Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීම සඳහා යාත‍්‍රා 15 ක් යොදවා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවා. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව අද (06) දිනයේ ද එම මෙහෙයුම් සඳහා එක්ව සිටිනවා.

Giraya News Alerts

එමෙන්ම, ගිනි ගැනීමකට ලක්ව ඇති MT New Diamond නෞකාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ සොයා බැලීම සඳහා අද (06) උදෑසන දිවයිනට පැමිණි විදේශීය විශේෂඥ කණ්ඩායම කල්මුණේ ප‍්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා. අදාළ විශේෂඥ කණ්ඩායම රැගත් විශේෂ ගුවන් යානය අද උදෑසන 6.55 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ළගා වී තිබෙනවා. එම පිරිස කල්මුණේ සිට නාවික හමුදාව මගින් ඩයමන්ඞ් නෞකාව රඳවා ඇති මුහුදු කලාපය වෙත රැගෙන යාමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසයි.

එම පිරිස පිළිබඳව වැඩිදුර තොරතුරු පවසමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර පෙන්වා දුන්නේ “අදාළ නෞකාවේ රක්ෂණ සමාගමේ නිලධාරීන් කණ්ඩායමක්, තෙල් නැව් හිමිකරුවන්ගේ සංගමයේ සාමාජිකයින් දෙදෙනෙක්, වෙළඳ නාවික නීතිය පිළිබඳ විශේෂඥ නීතිඥවරයෙක් වශයෙන් මෙලෙස පැමිණ තිබෙනවා. එහිදී නැවේ තක්සේරු වාර්තාවක් ලබා දෙනු ඇති.” බවයි.

මේ අතර, ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව ගොඩබිම සිට නාවික සැතපුම් 40ක් එනම් කිලෝමීටර් 74ක් පමණ දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදාගෙන ගිනි නිවීම් මෙන්ම සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් සිදු කරමින් පවතිනවා. ඒ නාවික හමුදාව ප්‍රමුඛ අනෙක් පාර්ශවකරුවන් විසින් බව නාවික හමුදාව නිවේදනය කරයි.

එමෙන්ම ඊයේ (05) මධ්‍යම රාත්‍රියේදී ඕෂන් බ්ලිස් නම් ටග් යාත්‍රාවක් ද මෙහෙයුමට එක්වී තිබෙනවා. නාවික හමුදාව නිවේදනය කළේ ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් තවත් නෞකා දෙකක් වන අමීයා සහ අභීක් මෙම මෙහෙයුම සඳහා ඊයේ (05) දහවල් සිට එක්ව සිටින බවයි. එමෙන්ම ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් ගුවන් යානාවක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ගුවන්ගත වී ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ නිරීක්‍ෂණ කටයුතුවලට එක්වීමට නියමිතයි.

ඊයේ (05) රාත්‍රී කාලයේදී ආපදාවට පත්ව ඇති නෞකාව ඇති මුහුදු ප්‍රදේශයේ යම් රළු ස්වභාවයක් සහ සුළගේ වැඩි වීමක් පැවතිය ද එම අභියෝග හමුවේ මෙහෙයුම අඛණ්ඩව සිදු කර තිබෙන අතර අද (06) දිනය තුළ ද දහන අපෝෂක රසායන ද්‍රව්‍ය යොදා ගනිමින් මෙම ආපදා තත්වය මැඩපැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව තුළ මේ වන විට ආරක්‍ෂිතව වෙන්කර තබා සිටින ආපදාවට පත් නෞකාවෙන් ගලවා ගත් කාර්යමණ්ඩලයේ නාවිකයන් 20 දෙනා හට අනතුරින් පසු ප්‍රථම වරට දුරකථන මාර්ග ඔස්සේ සිය සහෘදයන් සමඟ සම්බන්ධවීමට අවස්ථාව උදා කිරීමට ද නාවික හමුදාව කටයුතු සැලසුම් කර තිබෙනවා.

නිව් ඩයමන්ඩ් නෞකාවේ වාණිජ හිමිකරු වන ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි New Shipping Limited ආයතනය විසින් ආපදා ගැලවුම්කාර පාර්ශවය ලෙස සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක වන SMIT Singapore Pte Ltd නම් ජාත්‍යන්තර ආයතනය පත් කර තිබෙනවා. එම ආයතනය විසින් මේ වන විට මෙම ආපදා ගැලවුම් (Salvage) සඳහා බොරතෙල් සම්බන්ධව විශේෂඥ දැනුම ඇති පුද්ගලයින් හා උපකරණ නිව් ඩයමන්ඩ් නෞකාව වෙත යොමු කරමින් පවතින බව නාවික හමුදාව සඳහන් කරයි.

නෞකාව සමඟ ඇති ටී.ටී.ටී. 1 (TTT One) නමැති ටග් යාත්‍රාවේ මෙවැනි ආපදාවන් සම්බන්ධව කටයුතු කල හැකි ගලවාගැනීමේ විශේෂඥ ප්‍රධානියෙකු ඇතුළු කණ්ඩායමක් ඇති අතර, එම ටග් යාත්‍රාව හා එකතුවීමට බොරතෙල් නැව් හැසිරවිය හැකි විශාල ප්‍රමාණයේ ටග් යාත්‍රා දෙකක් සිංගප්පූරුව සහ මොරිෂස් යන රටවල් වෙතින් මේවන විටත් පිටත්ව තිබෙනවා.

එමෙන්ම, SMIT Singapore Pvt Ltd ආයතනය විසින් මෙම රැගෙන එන පුද්ගලයින් හා භාණ්ඩ පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, එම කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය දැක්වීමට සූදානමින් සිටින බව ද නාවික හමුදාව ප්‍රකාශ කළා.

මීට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ගිණි නිවීමේ නිලධාරී ඇතුළු කණ්ඩායමක්ද මෙම ආපදාවට පත් නෞකාව නිරීක්‍ෂණය සඳහා අද එක්වීමට නියමිතව තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා 3ක්, ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා 5ක්, ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ රාවණා සහ වසඹ යන ටග් යාත්‍රා 2ක්, ආපදාවට පත් නෞකාව අයත් සමාගම මගින් යෙදවූ ALP Winger නම් ටග් යාත්‍රාව සහ ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත ටී.ටී.ටී. 1 (TTT One) නමැති ටග් යාත්‍රාව හා ඕෂන් බ්ලිස් (Ocean Bliss) නම් ටග් යාත්‍රාව මෙම ගිනි නිවීමේ මෙහෙයුම සඳහා මේවන විටත් සක්‍රීයව දායකත්වය ලබා දෙමින් සිටිනවා.

මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා තුනක් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා 2ක් සැපයුම් යාත්‍රාවන් වශයෙන් මෙම මෙහෙයුමට එක්කර තිබෙනවා.

විශේෂඥ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ ආපදා මර්දන මෙහෙයුම මගින් නෞකාවේ ගින්න පැතිරයාම මේ වන විට සාර්ථකව පාලනය කර ඇති අතර, එම නෞකාව මගින් සාගරයට තෙල් කාන්දුවීමේ කිසිදු අවදානමක් නොමැති බව ද නාවික හමුදාව අවධාරණය කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top