නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන MV New Diamond නම් නෞකාව ශ්‍රී ලංකාවේ සිට නාවුක සැතපුම් 40ක් ඔබ්බෙන් වූ මුහුදු කලාපයට රැගෙන යාමට ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සමත්ව තිබෙනවා.
ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ ගබඩා කොට ඇති ඉන්ධන කිසිදු ලෙසකින් පිටතට කාන්දුවීමක් සිදුව නොමැති බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටියි. සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් තබමින් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය මේ බව සඳහන් කර සිටිනවා. එමෙන්ම නෞකාවේ ඇතිවූ ගින්න ද මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය වී ඇති බවද ඔවුන් සඳහන් කර සිටියි.
මේ අතර, ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාව ආරක්ෂිත මුහුදු කලාපයක් වෙත රැගෙන ගොස් ඇතැයි, නාවික හමුදාව පවසයි. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේ එම නෞකාව ඊයේ රාත්‍රිය වන විට ගොඩබිමට පැමිණීම වේගවත්වූ නිසා ආරක්ෂිත කලාපයක් වෙත රැගෙන ගිය බවයි. එමෙන්ම, නෞකා සහ ටග් යාත්‍රා 11ක් මේ සඳහා යොදාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
තවද, නෞකාවේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව, චීන වරාය ගුවන් හමුදා කඳවුරින් අද (05) වයි 12 වර්ගයේ ගුවන් යානයක් පිටත් කර හැර තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකශක, ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ පැවසුවේ, නෞකාවේ පිටත කොටසේ ගින්න පැතිරීම පාලනය කර ඇතත් තවදුරටත් ගින්න පවතී ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා එම යානය යෙදවූ බවයි. ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා එම්. අයි. 17 වර්ගයේ හෙළිකොප්ටර් යානායක් සූදානමින් තබා ඇතැයි ද ඔහු පැවසී ය.
සංගමන් කන්දට ඔබ්බෙන්වූ මුහුදේ ගිනිගන්නා සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාවේ ගින්න පාලනය කිරීමට නාවික හමුදාව හා ගුවන් හමුදාව මේ වන විටත් දැඩි ප්‍රයත්නයක නිරතව සිටී.
කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ New Diamond නෞකාවේ පෙරේදා පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබිණ. ගින්න ඇතිවන අවස්ථාවේ එය යාත්‍රා කරමින් තිබුණේ, සංගමන්කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරිනි. පැනමා ධජය යටතේ යාත්‍රා කළ නෞකාවේ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 270,000 ක් සහ නෞකාවට අවශ්‍ය ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1700 ක් පමණ වේ.
නිව් ඩයමන්ඩ් යාත්‍රාවේ මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් පිපිරීමකින් අනතුරුව ගින්න හටගෙන තිබු අතර ඒ පිලිබදව මෙරට නාවික හමුදාවට වාර්තා වී තිබුණේ පෙරේදා පෙරවරු 8.05 ට පමණයි. New Diamond නෞකාව ගිනි ගන්නා අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකු සිට ඇති අතර ඉන් වැඩි දෙනා පිලිපීන ජාතිකයින් ය. නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් එක් අයෙකු හැර සෙසු සියලු දෙනා බේරා ගැනිණ. අතුරුදන්ව සිටි අයෙකු ලද තොරතුරු අනුව මිය යන්නට ඇතැයි සැක කරන බව නාවික හමුදාව අද පෙරවරුවේ ප්‍රකාශ කළේ ය.
