නැගෙනහිර මුහුදු වෙරළ කලාපයේදී හදිසි ගින්නක් හටගත් ඉන්ධන රැගත් MT New Diamond නෞකාව මේ වන විට ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයට පැමිණ ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
මෙම නෞකාව ක්‍රමක් ක්‍රමයෙන් මුහුදේ ඇති දියවැල් හේතුවෙන් දකුණු මුහුදු කලාපය දෙසට ඇදෙමින් පවතින පවතින බවත් මෙම නෞකාවෙන් මේ වන විට කිසිදු ඉන්ධන කාන්දුවීමක් සිදුවී නොමැති බවත් යුද්ධ හමුදාපතිවරයා සඳහන් කරයි.
මේ අතර, මෙම නෞකාවේ ඇතිවී තිබෙන ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මගින් නෞකාවට ජලය ලීටර් ලක්ෂයක් හෙලා ඇති බවත් ගුවන් මෙහෙයුම් දිගින් දිගටම සිදුකරමින් පවතින බවත් සඳහන් කරයි.
මේ අතර, එම නෞකාවෙන් ඉන්ධන කාන්දුවීමක් සිදු වුවහොත් සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.
එහිදී හම්බන්තොට සිට යාපනය දක්වා සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. එමෙන්ම මෙම තත්ත්වය තනි රටකට පාලනය කිරීම අපහසු වන බැවින් දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහය ලබාගැනීම සඳහා කටයුතු කරන බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.
ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් ද මේ වන විට අවධානය යොමු කර ඇති බව පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
විශේෂයෙන් දැවැන්ත ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර අතර ඉන්ධන උරා ගත හැකි Oil Boomයෙදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
