පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවට ආණ්ඩුවට ප්‍රබල බලපෑමක් එල්ල වී තිබෙනවා. මෙම බලපෑම ආණ්ඩුව තුළින්ම සහ ආණ්ඩුවට සහය දුන් පාර්ශව තුළින් එල්ල වී තිබෙනවා.
රටට එරෙහිව ගතු කී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයින්ට එරෙහිව ජිනීවා නුවරට ගොස් රට වෙනුවෙන් තම හඩ අවධි කළ ආචාර්ය සරත් වීරසේකර මෙම ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටී.
ඔහු ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ කාලයේ පටන්ම ඊට දැඩි ලෙස එරෙහි ස්ථාවරයක සිටි පුද්ගලයෙකි. 2020 සිය මැතිවරණ ව්‍යාපාරය තුළ දී ද ඔහු ජනතාව ඉදිරියේ කියා සිටියේ පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවයි. ජනතාව එය අනුමත කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ අංක 01 ස්ථානයට ඔහුව ඔසවා තැබුවේ මනාප ඡන්ද 300,000කට අධික ප්‍රමාණයක් ලබා දෙමිනි.
පසුව එක රටක් – එක නීතියක් සංකල්පය ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙළට නායකත්වය දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආචාර්ය සරත් වීරසේකර මහතා, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවා.
ඉන් පසුත් සිය ස්ථාවරය රටට කී ආචාර්ය සරත් වීරසේකර කියා සිටියේ “සුදු අලියෙකු” වී ඇති පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමිය යුතු බවයි.
එසේම නව ව්‍යවස්ථාවක් මගින් රාජ්‍ය ව්‍යුහය විධිමත් කරන තෙක් පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.
එම කාර්ය සාධක මණ්ඩලය පවසන්නේ 13 හා 16 වැනි ව්‍යවස්ථා සංශෝධනවල හඳුන්වා දී ඇති භයානක ප්‍රතිපාදන වහාම අවලංගු කිරීමට නොපමාව පියවර ගන්නා ලෙසයි.
සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, කොළඹ නව කෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක දිවියාගහ යසස්සි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාතලේ ධම්ම කුසල, අමරපුර ධම්මරක්ඛිත නිකායේ මහානායක ත්‍රිකුණාමලේ ආනන්ද හා රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරටියේ නන්ද යන නාහිමිවරුන් ඇතුළු මහාසංඝරත්නයේ ද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල ඇතුළු බෞද්ධ සංගම් නියෝජිතයන්ගේ අත්සනින් යුතුව මෙම දැනුම් දීම අගෝස්තු 28 දින සිදු කර තිබෙනවා.
එසේම පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කර දැමිය යුතු බව මල්වතු, අස්ගිරි මහනාහිමිවරු සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ නියෝජිත පිරිසක් සමග ජූලි 17 දින ප්‍රකාශයක් කර තිබුණි.
එසේම කිසි ලෙසකින්වත් පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල නොදිය යුතු බව ද, රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට ගන්නා පියවරවලදී ඉන්දියාවට හෝ වෙන රටකට හෝ බය වීම අවශ්‍ය නැතැයි ද, 1987 වසරේ දී අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම අවලංගු කළ යුතු යැයි ද අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම බුද්ධරක්ඛිත මහනාහිමියෝ කීහ.
මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ සුමංගල මහනාහිමියන් පැවසූයේ මනාප ක්‍රමය හා පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බවයි. “පළාත් සභා ක්‍රමයේ රටට අහිතකර වගන්ති ඇත්නම් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම හොදයි. රටේ මන්ත්‍රීවරු වැඩියි. ජනතාවට වැඩක් වෙන්නේ නෑ. ඒ ඒ අයගේ වැඩ තමයි කරගන්නේ. ඒ නිසා පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම තමයි මගේ පෞද්ගලික හැගීම.‘ යැයි උන්වහනසේ කීහ.
මෙලෙස අතිමහත් බහුතර ප්‍රජාවක් පළාත් සභා ක්‍රමය අහෝසි කර දැමිය යුතු බව පවසද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය නම් කණ්ඩායමක් සැප්තැම්බර් 3 මාධ්‍ය හමුවක් පවත්වමින් පවසන්නේ පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට ආචාර්ය සරත් වීරසේකර කළ ප්‍රකාශයට තම පිළිකුළ ප්‍රකාශ කරන බවයි. ඉදිරි පළාත් සභා මැතිවරණයක දී මහඇමතිධූර අපේක්ෂාවෙන් සිටින හිටපු මහඇමතිවරු සහ වත්මන් රජයේ අමාත්‍යධූර දරන මන්ත්‍රීවරියකගේ සැමියෙක් ඇතුළු පිරිසක් එම මාධ්‍ය හමුවට සහභාගී වී තිබුණා. පළාත් සභාව සුදු අලියෙක් බවට කළ ප්‍රකාශයට ද ඔවුන් තම විරෝධය පළ කළා.
කෙසේ වෙතත් පළාත් සභා ක්‍රමය සුදු අලියෙකු බව නොතේරෙන්නේ නම් එම පුද්ගලයාගේ මොලේ හොඳ නැති බව ශාස්ත්‍රපති පණ්ඩිත, පූජ්‍ය වේපතඉර හේමාලෝක හිමියෝ පැවසූහ. “මහඇමතිවරයෙක් ඇතුළු ඇමතිවරු 4ක් පත්කරනවා, ඒ අයට පඩිනඩි ගෙවනවා, ලේකම්වරු පත්කරනවා, ඒ හැමෝටම ඩීසල් ගහනවා, රටට ඇති සෙතේ මොකද්ද” යැයි උන්වහන්සේ විමසූහ.
පළාත් සභා මන්ත්‍රී සංසදයේ මාධ්‍ය හමුවට ප්‍රතිචාර දක්වමින්, රට තුළ ඇඳිරි නීතිය දමා පාර්ලිමේන්තුවේ දී සම්මත කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කළ පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කර දැමිය යුතු බව ආචාර්ය සරත් වීරසේකර සැප්තැම්බර් 03 දින යළිත් අවධාරණය කළා.
පුද්ගලයින් කිහිප දෙනෙකුට වරප්‍රසාද ලබා ගැනීම සඳහා පළාත් සභා ක්‍රමයක් පවත්වාගත යුතු නැති බව පළාත් සභා ක්‍රමයට එරෙහි සියලු දෙනාගේ මතයයි.
