Advertise with Giraya
NEWS

2025 අවසානයට පෙර රටේ සියලු නිවාසවලට පානීය ජලය

2025 අවසන් වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මැතිතුමා විසින් විමසුමට ලක් කර තිබෙනවා.

ඒ අනුව, ගංගා, ඇළ දොළ සහ ජල පෝෂක ප්‍රදේශ පිරිසිදු කොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන කඩිනම් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දී ඇත.

ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මේ බව සඳහන් කර තිබෙනවා.

‘සැමට ජලය’ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට ඉදිරිපත් කෙරුණු ප්‍රමුඛ ප්‍රතිඥාවකි.

ඉදිරි සිව් වසර තුළ පවුල් ලක්ෂ 47කට ජලය සැපයීමට රජය අපේක්ෂා කරයි. දේශීය හා විදේශීය අරමුදලින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ජල නළ කි.මී. 40,000ක් අලුතින් එලීමට සිදු වේ. මේ දක්වා ජල සම්පාදනයට ගිය පිරිවැයෙන් හරි අඩකින් ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ජලය ජනනය සහ සංරක්ෂණය ජල මූලාශ්‍ර හඳුනා ගැනීම වැඩසටහනෙහි පියවර කිහිපයකි. ජල පෝෂක මූලාශ්‍ර සංරක්ෂණය උදෙසා වන රෝපණයට ද සැලසුම් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් සමස්ත ජල සැපයුමෙන් 45%ක් ජලය කාන්දුවීම හේතුවෙන් අපතේ යමින් තිබිණ. ගත වූ මාස කිහිපය තුළ අලුතින් ජල නළ එලීමෙන් එය 15% දක්වා අඩු කර ගැනීමට හැකිව තිබේ. ජලය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ජලය කාන්දුවන ස්ථාන හඳුනාගෙන අලුතින් ජල නළ එළීම දැන් සිදුවන බව නිලධාරීහු එහිදි සඳහන් කළහ.

ප්‍රජා ජල ව්‍යාපෘති යටතේ බෙදා හැරෙන ජලය ඉහළ ප්‍රමිතියකින් පිරිපහදු කර නිවාස වෙත සැපයීමට ද සැලසුම් කර තිබෙන බව එහිදී සඳහන් වී ඇත. ප්‍රජා ජල ව්‍යාපෘති සේවක ගැටළු විසඳීම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය එම සාකච්ඡාවේ දී යොමු වී ඇත.

ජල නළ එළීමේ දී මාර්ගවලට වන හානිය සහ එමඟින් ජාතික ධනය විනාශ වීම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද එකඟතාව පළ කෙරිණි. රටේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට යන සමස්ත වියදමෙන් 35%ක් පමණ එමඟින් ඉතිරි කර ගත හැකි බව එම සාකච්ඡාවේදී අනාවරණය විය.

වර්ෂා ජලය ගබඩා කිරීම සහ දිවයිනේ වැව් සහ ජලාශවල ධාරිතාව නැංවීම, අලුතින් වැව් සහ ජලාශ පද්ධතියක් ඉදිකිරීම කෙරෙහි ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ජල ඌණතාවයක් ඇති ප්‍රදේශවලට පානීය ජලය ගෙනයාමට නව ඇළ මාර්ග සහ නළ මාර්ග සහිත ව්‍යාපෘති හඳුන්වාදීම ද නව සැලසුමට අන්තර්ගත වේ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහු සහ ප්‍රජා ජල ව්‍යාපෘති නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top