ඉස්සන් ටැංකි ඉදිකිරීම සඳහා ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් අභය භූමියට අයත් ඉඩමක් ඩෝසර් කිරිමට අණ දුන් ප්‍රබල දේශපාලඥයෙකුගේ සහෝදරයෙක් පිළිබඳව තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදාවා ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා පවසයි.
මෙම සිද්ධියට අදාළව ඊයේ (29) දිනයේ දී අත්අඩංගුවට ගෙන මේ වන විට බන්ධනාගාරගතව සිටින ව්‍යාපාරිකයා විසින් සිදු කරන ලද පාපොච්චාරණයකට අනුව අදාළ සිද්ධියට ආධාර අනුබල දිමේ චෝදනාවට මෙම ප්‍රබල දේශපාලඥයාගේ සොහොයුරා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.
කෙසේ වෙතත්, නීතිවිරෝධීව සිදු කරන ලද අභය භූමිය එළි කිරීමේ සිද්ධියට අදාළව පොලිසිය විසින් අත් අඩංගුවට ගැනිමට නියමිත ප්‍රබල දේශපාලඥයාගේ සොහොයුරා ප්‍රදේශයෙන් නොමැති බව අදාල සැකකරුගේ නිවසට ගිය පොලිස් කණ්ඩායම් පවසයි.
කෙසේ වෙතත් මෙම සැකකරු සොයා පොලිස් බුද්ධි අංශ ඇතුළු බුද්ධි අංශ ගනනාවක් විමර්ශන අරඹා ඇති බව කියයි. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස් පතිවරයා පවසා සිටියේ අදාළ සැකකරු ඉදිරි දින කිපය තුළ පොලිසිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි
ආනවිළුන්දාව රැම්සා තෙත් බිමට අයත් පිංකට්ටිය කාසන්තිව් ප්‍රදේශයේ බිමක් පසුගිය 25 දින රාත්‍රියේ හා පසුදින පැය 10 කට ආසන්න කාලයක් ඩෝසර් යන්ත්‍රයක් යොදා ගනිමින් එළි කර තිබිණි. මෙම සිද්ධියට මේ වන විට ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු හා පොකුණු ඉස්සන් වගාවන් සිදුකරන ව්‍යාපාරිකයකු බන්ධනාගාර ගත කර සිටි.
