Advertise with Giraya
POLITICS

එජාපය කාගෙවත් බූදලයක් නෙවෙයි – අර්ජුන රණතුංග

එක්සත් ජාතික පක්ෂය නායකත්වය යනු කිසිවෙකුට පරම්පරාවෙන් හෝ බූදලයෙන් හෝ ලැබෙන දෙයක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග ප්‍රකාශ කරනවා.තවද, එක්සත් ජාතික පක්ෂය යනු මිනිසුන්ගේ පක්ෂයක් බවත් එය තමන්ගේවත්, රනිල් වික්‍රමසිංහගේ හෝ රුවන් විජේවර්ධනගේ හෝ පක්ෂයක් නොවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එමෙන්ම, තමන්ට නායකත්වය භාර දුන්නොත් ඕනෑම වෙලාවක නායකත්වය භාරගෙන කටයුුතු කිරීමට තමන්ට හැකියාව තිබෙන බවත් අර්ජුන රණතුංග සඳහන් කළා. රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ප්‍රතික්ෂේප වී ඇති අවස්ථාවක ඔහු සිදු කළ යුත්තේ එය කිසිවෙකුගේ කරට එය නොදමා අවශ්‍ය නායකත්වය ලබා දීම බවත් අර්ජුන රණතුංග ප්‍රකාශ කළා. මේ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසුම තැනැත්තා වන්නේ කරු ජයසූරිය බව ද මෙහිදී ඔහු අවධාරණය කළා.

ජා ඇල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. එහිදී එජාප නව නායකත්වය තේරීම පිළිබඳ ඔහු පළ කළ අදහස් මෙසේ ය. ‘ඉදිරියේ දී එක පුද්ගලයෙක් තෝරන්න බලාපොරෝත්තුවක් තියෙනවා…ඒක මං හිතන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් තෝරන්න හදන්නේ. ‘

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන නායකත්වය භාර ගැනීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් අර්ජුන රණතුංග පළ කළේ මෙවන් අදහසක්.

‘එක එක්කෙනාට, එක එක ආසාවල් තියෙනවා. මං හිතන්නේ ඒක කාටවත් නවත්තන්න බැහැ. මේ නායකයෝ කියන්නේ, බූදලයෙන් එන එකකුත් නැත්නම් පරම්පරාවෙන් එන නායකත්වයකුත් නෙමෙයි. මේක මිනිස්සුන්ගේ පක්ෂයක්. එහෙම නැතුව මේක මගේ පක්ෂෙකුත් නෙමෙයි. රුවන්ගේ පක්ෂෙකුත් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂෙකුත් නෙමෙයි. මමත් ඉල්ලනවා. මං තමයි නායකයා වෙන්න ඕනේ. මගේ පරම්පරාවෙන් එනවා. නැත්නම් මං මෙහෙම කරලා තියෙනවා. එහෙම නෙමෙයි නායකයෝ වෙන්නේ. මෙතන හිටපු අයට තිබුනා වෙන වෙන අදහස්. මේ දැන් එනවා මේවා එළියට. මොනවාද දැන් කියන්නේ කියලා දැන් අපිට තේරෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු කණ්ඩායම ඒ යන්න දුන්න කණ්ඩායම තමයි දැන් මේක නැවත කඩන්න හදන්නේ. ඡන්ද බලයක් නැති වෙනම කණ්ඩායමක්. ඉතින් මං ඒ ගැන කණගාටු වෙනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

එක්සත් ජාතික පක්ෂය විසින් තමන් වෙත පක්ෂ නායකත්වය ලබා දීමට එකඟ වුවහොත් එය භාර ගැනීමට සූදානම්ද යන ප්‍රශ්නයට අර්ජුන රණතුංග පැවසුවේ, ‘මට නායකත්වය භාර දුන්නොත් ඕන වෙලාවක භාර අරගෙන ඒ වැඩ කොටස මට කරන්න පුළුවන්.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා දක්ෂයෙක්. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. හැබැයි, අද වෙනකොට එතුමාව ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. එක අතකින් එතුමාත් ඉන්න කැමැත්තක් නැහැ. හැබැයි, එතුමා බලාපොරොත්තු වෙන්න ඕනේ මේ පක්ෂය තවත් කඩන්නේ නැතුව, පක්ෂය ඉදිරියට ගෙනියන්න නායකත්වය එතුමා දෙන්න ඕනේ. එහෙම නැතුව මේ එක එක්කෙනාගේ කරට මේක දාලා ඒකෙන් ලැබෙන එක නෙමෙයි මම නම් බලාපොරොත්තු වෙන්නේ.

මේ වෙලාවට තියෙන හොඳම ප්‍රතිකාරය තමයි කරු ජයසූරිය මහත්තයාට භාර දෙන එක. කරු ජයසූරිය මහත්තයාගේ නායකත්වයෙන් අපිට මේක හදන්න හරි ලේසියි.මේ කරන ක්‍රමයට ගියොත් එහෙම මේක ඉදිරි කාලයේ දි තමන්ගේ පක්ෂයක් බවට පත්වෙයි. මහජනතාවගේ පක්ෂයක් වෙන්නේ නැහැ’ යනුවෙනි.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top