Advertise with Giraya
Gossip

මන්ත්‍රීවරුන්ට 3000 කෑම එක 200 දෙනවා යැයි කීමට මන්ත්‍රීන්ගේ විරෝධය

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ වැඩමුළු කිහිපයක් මේ දිනවල පාර්ලිමේන්තුවේ දී පැවැත් වෙමින් තිබෙනවා.

එහිදී අගෝස්තු 26 වැනි දා පස්වරුවේ දී දේශනයක් පැවැත්වීමට පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් සමුළුව තුළ නොසන්සුන්තාවයක් ඇති වී තිබෙනවා.

එම දේශනයේ දී පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (මූල්‍ය) ඒ.එස්. උපනන්ද සඳහන් කර ඇත්තේ රුපියල් තුන්දහසක් වටිනා කෑම වේලක් රුපියල් දෙසීයකට මන්ත‍්‍රීවරයකුට ලබාදෙන බව යි. ඔහු එම දේශනය සිදුකර ඇත්තේ “පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභ” යන මාතෘකාව ඔස්සේ ය.

Giraya News Alerts

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට උදෑසන ආහාරය රුපියල් 100කට, දිවා ආහාරය රුපියන් 200කට සහ කෙටි ආහාර රුපියල් 50ක මුලකට ලබා දෙන බව ඔහු සඳහන් කර තිබෙනවා. එහෙත් රුපියල් 200ක මිලට දහවල් ආහාර වේල ලබා දුන්නත් එය රුපියල් 3000 ක් පමණ වටිනා බව ඔහු පැවසීමත් සමග එම ප්‍රකාශයට නවක මන්ත්‍රිවරු පිරිසක් දැඩි විරෝධයක් පළ කර තිබෙනවා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීනී, රාජ්‍ය ඇමැති සීතා අරඹේපොල විමසා ඇත්තේ “මේ කෑම වේල රුපියල් 3000 ක් වටිනවද? අපි මේ දවස් දෙකේ ඔය කියන ආහාර වේල ගත්තා. ඒ කෑම වේලේ එතරම් වටිනාකමක් තියෙනවද? අපි නම් එහෙම එකක් දැක්කෙ නෑ. පළවෙනි දවසෙ ගෙදර ගිහින් මම හිතුවා වැරදි තැනකින් කෑම ගත්තද කියල. තුන්දහසේ බුෆේ එක කොහේද කියලා මම හොයලා බැලූවා. මෙවැනි වැරදි මත සමාජගත වූ නිසා තමයි මිනිස්සු පාර්ලිමේන්තුවට වෛර කරන්නේ.” යනුවෙනි

එහිදී රැස්ව සිටි මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ “ඔය බොරු කතාව තවදුරටත් එළියට කියලා මන්ත්‍රීවරුන්ට ලැජ්ජා කරන්න එපා. පිටට කියන්නෙත් 3000 කෑම එක 200ට දෙනවා කියලා. ඒත් ඒකෙන් සමාජගත වෙන්නෙ සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.” බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත ද එහිදී පාර්ලිමේන්තු නිලධාරීන් වෙත පවසා ඇත්තේ “රුපියල් 3000ක් තරම් මේ කෑම වේල වටින බව අපට පේන්න නැහැ. අපිට පුළුවන් ගෙදරින් කෑම ගෙනවිත් කන්න. අපි කිසිම කෙනෙකුට පාර්ලිමේන්තු කෑම එපා. මේකෙන් මන්ත්‍රීවරුන් වෙන හානිය කෑම එකට වඩා විශාලයි.” යනුවෙනි.

එහිදී පාර්ලිමේන්තුවේ සහකාර ලේකම් ටිකිරි ජයතිලක පවසා ඇත්තේ “මන්ත‍්‍රීවරුන් දෙසිය විසිපහෙන් කෑම එකක් නොකාපු අයත් ඉන්නවා.” ලෙසයි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරු පෙන්වා දී ඇත්තේ අදාළ කෑම වේලේ පිරිවැය ගණනය කිරීමේ සහ ප්‍රකාශ කිරීමේ දෝෂ ඇති බවයි. එසේම මෙවැනි වැදගත් දේශනවලදී එවැනි කතා කීමෙන් අවසානයේ මාධ්‍ය තුළ ප්‍රචාරය වන්නේ එවැනි කරුණු පමණක් බව ද මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා.

මෙම නොසන්සුන්තාවය අතරතුර පාර්ලිමේන්තුවේ විගණන අංශයෙන් ලැබුණු පණිවුඩයක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරයා විසින් රැස්ව සිටි පිරිසට ප්‍රකාශ කර තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ මන්ත්‍රීවරුන්ට ආහාර පිටතින් ගෙන ඒමේ හැකියාව සම්බන්ධයෙන් ඉදිරියේ දී සළකා බලන බවයි. එසේම විගණන අංශයෙන් පණිවුඩයක් එවූ බවත් ඒ අනුව මාළු කෑම එක රු. 951 ක් වෙනවා. එළවළු කෑම එක රු. 629 ක් වෙනවා. යැයි සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් පසු තම ප්‍රකාශය සම්බන්ධයෙන් මූල්‍ය අධ්‍යක්‍ෂවරයා කණගාටුව ප්‍රකාශ කර ඇති බව ද සඳහන්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top