සැප්තැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුමක් හෙට (27) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.
එම අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට සහ අනිද්දා (28) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය. පෙරවරු 9.30ට සිට පස්වරු 6.30 දක්වා එම දෙදින තුළ අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය පැවැත්වෙන බව සඳහන් වේ.
මේ අතර, නව ආණ්ඩුවේ දෙවන කැබිනට් රැස්වීම අද (26) පස්වරු 4.00ට නව ආණ්ඩුවේ දෙවන කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. මින් ඉදිරියට සතියේ සෑම බදාදා දිනකම කැබිනට් රැස්වීම ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.
අද දින රැස්වන කැබිනට් මණ්ඩලයට අමාත්‍යාංශ ගණනාවක කැබිනට් පත්‍රිකා ඉදිරිපත් වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.
