Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක් කිරීමට ජනපතිගෙන් සැලැස්මක්

කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක් කර විදේශ විනිමය උත්පාදනයේ නව ප්‍රවේශයක් විවෘත කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

කිතුල් සහ තල් වගා ප්‍රවර්ධනයටත් ඒ ආශ්‍රිත බාධක ඉවත් කර නිෂ්පාදන ක්‍රියාවලිය දිරි ගැන්වීමටත් කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා නිලධාරීන්ගේ අවධානයට යොමු කරයි.කිතුල් සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට සහ තල් ගස් කැපීම තහනම් කරමින් පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ කරුණු පෙන්වා දී ඇත.

Giraya News Alerts

එහිදී, විශාල විදේශ විනිමයක් උපයා ගැනීමේ ශක්‍යතාව සහිත රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙස අමාත්‍යාංශයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා විසින් කෙටි කාලයකදී ළඟා කරගත යුතු ඉලක්ක සැලසුම් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. දේශීය වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන 03කි. ඉන් බිලියන 1.8ක් පරිභෝජනයට ගැනේ. වැඩි අපනයනයක් සඳහා වගාව ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව හඳුනාගත් ඉඩම්වල කඩිනමින් පොල් වගාව ඇරඹීමට නියම කෙරිණ. ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබූ පුරන් කුඹුරු ද වගාවට යොදා ගැනේ. සැප්තැම්බර් මාසයේ දී ගෙවතු මිලියන 02 ක පොල් පැල මිලියන 04ක් වගා කිරීමට පියවර ගතයුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

පොල් සඳහා ස්ථාවර මිලක් නියම කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණ. දෙමුහුන් බීජ පැල වගාව සඳහා එක් කර ඉහළ ඵලදාවක් ලබා ගැනීමට ද සාකච්ඡාවේදී අවධානය යොමු විය. රබර් අපනයනයෙන් ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 600කි. එය 2020 වසරේදී ඩොලර් මිලියන 2000ක ආදායමක් බවට වර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. රබර් වගාවේදී නව ප්‍රභේද හඳුන්වාදීමටත් බෑවුම් ප්‍රදේශවල ෆයිනස් ගස් වෙනුවට රබර් ගස් සිටුවීමට ඇති හැකියාවත් ජනාධිපතිතුමා විසින් එහිදී පෙන්වා දී ඇත.

දේශීය රබර් වගාව සහ නිෂ්පාදකයන් දිරි ගැන්වීමට රබර් ආනයනය සීමා කිරීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. රබර් ආශ්‍රිත නිෂ්පාදන ආයතන දේශීයව මිලදී ගන්නා රබර් ප්‍රමාණයට සාපේක්ෂව රබර් ආනයනයට ක්‍රමවේදයක් සකස් කළයුතු බවද බැසිල් රාජපක්ෂ මහතා කීය. අපනයනය කෙරෙන කේප් රබර් සෙසු රටවල නිෂ්පාදන සඳහා යොදා ගන්නා ආකාරය සොයා බැලීමේ ඇති වැදගත්කම ද එම අවස්ථාවේදී සාකච්ඡාවට ලක් කර තිබේ.

අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන නිලධාරීහූ සහ වගා සහ නිෂ්පාදන ආයතනවල නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top