නල්ලතන්නි ප්‍රදේශයේ දී මන්දකට හසු වී මිය ගිය කළු කොටියා සංරක්ෂණය කරමින් පවතින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යජාලා ඔස්සේ හුවමාරු වන අතර ඒ පිළිබඳව සමාජයේ දැඩි විවේචනයන් එල්ල වෙමින් පවතියි. එම ඡායාරූපයන් පිළිබඳව පැහැදිලි කරමින් ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය මෙසේ ය.
‘මිට මාස කිහිපයකට පෙර නල්ලතන්නි ප්‍රදේශයේ දී මන්දකට හසු වී මිය ගිය කළු කොටියාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අධිකරණ නියෝගයක් මත සංරක්ෂණ කටයුතු සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුව වෙත භාර දෙන ලදී. ඒ අනුව, 2020.07.13 වන දින කළු කොටියාගේ දේහය මෙම දෙපාර්තුමේන්තුව වෙත භාර ගැනීමෙන් අනතුරුව සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී.
වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ගරු සී.බී රත්නායක මැතිතුමන් මෙම කළු කොටියා සංරක්ෂණය කරන අයුරු නිරීක්ෂණය කිරීම සඳහා මෙම දෙපාර්තුමේන්තුව වෙත පැමිණෙන ලදී. එහිදි පැමිණි බාහිර පාර්ශවයන් විසින් තවම සංරක්ෂණ කටයුතු නිම නොකළ කළු කොටියාගේ අනුරුවෙහි ඡායාරූප විවිධ සමාජ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය කරමින් එය විධිමත් ආකාරයෙන් සංරක්ෂණය කර නොමැති බවට ඉදිරිපත් කරනු ලබන විවේචනයන් සම්බන්ධයෙන් මම අතිශය කණගාටුවට පත්වෙමි. මෙම කටයුත්ත සිදු කරනු ලබන්නේ චර්ම ශිල්පය පිළිබඳ පළපුරුද්දක් හා කුසලතාවයක් ඇති කාර්යමණ්ඩලයක් විසිනි. විශේෂයෙන් ජාතික වටිනාකමකින් යුත් මෙවැනි දුර්ලභ විශේෂයන් ඉතා උසස් අන්දමින් සංරක්ෂණය කිරීම ඔවුන්ගේ කාර්යභාරය වේ. ශ්‍රී දළඳා මාළිගාවේ රාජා හස්තිරාජයා සංරක්ෂණය කර උසස් අන්දමින් අනුරුව සංරක්ෂණය කරන ලද්දේ ද මෙම ආයතනයේ ශිල්පීන් විසින් බව ද මවිසින් පෙන්වා දෙමි.
මෙම කළු කොයොගේ සංරක්ෂණ කටයුතු උසස් අන්දමින් නිම කිරීමෙන් අනතුරුව එය නුදුරු අනාගතයේ දී ජාතික කෞතුකාගාරයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ දී මහජන ප්‍රදර්ශනය සඳහා යෙදවීමට බලාපොරොත්තු වේ. එබැවින් තවම සංරක්ෂණය කරමින් පවතින අනුරුවක ඡායාරූප පළ කරමින් දැඩි විවේචන එල්ල කිරීම සිදු නොකරන ලෙසත්, එවැනි ඡායාරූප පළ කරමින් සමාජය වෙත වැරදි පූර්වාදර්ශයන් ලබා දීමට කටයුතු නොකරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලමි.’
