Advertise with Giraya
NEWS

යහපාලන සමයේ තානාපති කාර්යාලවල සේවයට ගිය අතිරික්ත සුබසාධන නිලධාරීන් දිවයිනට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ පනතේ විධිවිධානවලට පටහැනිව පසුගිය සමයේ විදේශ රටවල තානාපති කාර්යාලවල සේවය සඳහා කම්කරු සුභසාධන නිලධාරින් යවා ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සඳහන් කරයි. එසේ දේශපාලන පත්වීම් ලබා තානාපති කාර්යාලවල සේවය සඳහා ගොස් ඇති සියලු දෙනා ආපසු ගෙන්වන බවත්, සුදුසුකම් ලබා මේ වනවිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොරොත්තු ලේඛනයේ සිටින නිලධාරින් එම පත්වීම් සඳහා යැවීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වනවිට පොරොත්තු ලේඛනයේ සිටින්නේ තානාපති කාර්යාලවල සේවය සඳහා පුහුණු කළ නිලධාරින් බවත් ඔවුන්ගේ නාමලේඛනය මේ වනවිට ජනාධිපතිවරයාගේ නිර්දේශ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

දැනටමත් තානාපති කාර්යාලවල සේවය කරන කම්කරු සුභ සාධක නිලධාරින් අතර අතිරික්ත නිලධාරින් සිටින බව කී ඔහු සමහර කාර්යාලවල අවශ්‍යතාවය එක් අයෙක් වුවද දෙතුන් දෙනා සිටින බව ද එවැනි අතිරික්ත නිලධාරින් ගෙන්වීම ඉක්මණින්ම කිරීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.

මෙසේ අනවශ්‍ය පරිදි නිලධාරින් විදේශ සේවයට යැවීමෙන් කාර්යංශයේ මුදල් නාස්ති වන්නේ යැයි කී ජයරත්න මහතා ජනතා මුදල්වලින්, විශේෂයෙන් විදේශ ගත ශ්‍රමිකයන්ගේ මුදලින් නඩත්තු වන ආයතනයක එසේ මුදල් නාස්ති කිරීම අපරාධයක් වන්නේ යැයි ද කීය.

එසේම, කොරෝනා වෛරස වසංගතයත් සමඟ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ආදායම් විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් වියදම් කපාහැරීමේ පියවරක් ලෙස අතිරික්ත සුබසාධන නිලධාරීන් නැවත ගෙන්වා ගැනීමේ තීරණය ගෙන ඇති බව එම කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ සඳහන් කළේ ය. කාර්යාංශයේ වියදම් කපාහැරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර, මෙම තීරණයට එළඹී ඇත්තේ එහි නිර්දේශ අනුවයි.

දැනට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ තානාපති කාර්යාලවල පවත්වාගෙන යනු ලබන සුබසාධන අංශවල නිලධාරීන් 125 දෙනෙකු පමණ සේවය කරන අතර, වියදම් කපාහැරීම යටතේ එම නිලධාරීන්ගෙන් 40 ක පමණ කණ්ඩායමක් පමණක් විදේශ රටවල සේවය සඳහා යොදවන අතර, අනෙකුත් නිලධාරීන් නැවතත් දිවයිනට කැඳවීමට පියවර ගෙන ඇත. එමඟින් සියයට 65ක පමණ ඉතිරියක් අපේක්ෂා කෙරෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top