කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මිය ගිය ආසාදිතයින් ගණන 12ක් ලෙස අද (23) දිනයේ දී සටහන් විය. ඒ, ඉන්දියාවේ සිට පැමිණ කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වූ 47 හැවිරිදි කාන්තාවක් මරණයට පත්වීමත් සමඟයි.
එම කාන්තාව සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඇය අංක 429,යටිවල, නුවර පාර, මාවතගම යන ලිපිනයෙහි පදිංචි, රාසිදීන් ෆාතිමා රිසානා යන කාන්තාවයි. ඇය පසුගිය UL 1126 දරණ ගුවන් යානයෙන් මගින් පසුගිය අගෝස්තු මස 20 වන දින බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණ ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානයට නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇති අතර එහිදී ඇයට කොවිඩ් -19 වෛරසය ආසාදිත බවට එදිනම තහවුරු වී ඇත.
ඉන් අනතුරුව 2020 අගෝස්තු මස 22 වන දින ඇයව IDH රෝහල වෙත මාරු කර යවා ඇත.
මීට මාස 6කට පෙර ඇය පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉන්දියාවට ගොස් ඇති අතර ඇය දියවැඩියාව රෝගය සඳහා ද ප්‍රතිකාර ගනිමින් සිට ඇත.
ඇයගේ අවසන් කටයුතු අද (23) දින දහවල් 1300 පැයට කොටිකාවත්ති පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව ඇත. ඇයගේ සැමියා ද මේ වන විට ඩොල්ෆින් හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින අතර ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට යුද්ධ හමුදාව විසින් ඔහුට අවස්ථාව සලසා දී ඇත.
