නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමින් තමිල් මක්කල් තේසිය කූටනි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සි.වි. විග්නේෂ්වරන් විසින් “දෙමළ භාෂාව, මෙරටේ මුල්ම භාෂාව ලෙස හා නිජ භූමිය කරගත් මුල්ම ජනතාවගේ භාෂාව” ලෙස සිදුකළ ප්‍රකාශයට විවිධ පුද්ගලයින් විසින් සිය විරෝධතා එල්ල කරමින් පවතියි.
මේ සම්බන්ධයෙන්, අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පැවසුවේ, සී.වී. විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ප්‍රථමයෙන් දිවුරුම් දී ඇත්තේ එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිය ගිය වෙල්ලමුල්ලි වයික්කාල් සොහොන් පිටියේ දී බවයි.
එමෙන්ම, සි.වි. විග්නේෂ්වරන් සිටින්නේ “රට බෙදීමේ න්‍යාය පත්‍රයේ” බව ද ඔවුන් රටේ ඒකීයභාවය සුරැකීමට දිව්රුම් දුන්නේ කෙසේද යන්න පිළිබඳවත් රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මෙහිදී ප්‍රශ්න කර සිටියා. පාර්ලිමේන්තුවේ දී ජාතිවාදී ප්‍රකාශ සිදු කිරීමට ඉඩ නොදෙන බවත් ඔහු අවධාරණය කර සිටියා.
මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පැවසුවේ, ලංකාවේ පැරණිම භාෂාව දෙමළ යැයි පැවසීමට පෙර විග්නේෂ්වරන් විසින් තම දරුවන්ට දෙමළ භාෂාව ඉගැන්විය යුතු බවයි. ඔහුගේ දරුවන්ට දෙමළ භාෂාව නොහැකි බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක එහිදී පැවසුවා.
මේ අතර, විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීම පිළිබඳව කරුණු සොයා බලා කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (22) මහනුවරට පැමිණ මල්වතු, අස්ගිරි මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව පැවසීය.
