නව වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අද (20) පෙරවරු 9.30 ට ආරම්භ විය.
මෙහිදී නව කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධනයත්, නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටියත් හා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් තෝරා පත් කර ගැනීම සිදුවිය. පසුව අභිනව මන්ත්‍රීවරුන් කතානායකවරයා ඉදිරියේ නිල ප්‍රතිඥාව ලබා දීමත් සිදුවිය.
පසුව පාර්ලිමේන්තු සභාව පස්වරු 3 තෙක් කල් තැබීම සිදු වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 03.00 ට පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමත් එහිදී ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපතිවරයා පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට එතුමාගේ උපදෙස් මත, කටයුතු යොදා ඇත. ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාළි නොපැවැත්වෙන අතර ඒ වෙනුවට පාර්ලිමේන්තුව ඉදිරිපිට දී ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත ආචාර දැක්වීමක් සිදුවේ.
එහිදී ආරාධිත අමුත්තන්ගේ පැමිණීම පස්වරු 2.15 සිට සිදු වන අතර, පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදුවීමට නියමිතයි. පසුව නව කථානායකවරයාගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදුවන අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුවය.
එහි දී නව කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසල දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට නියමිතය.
