Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

නාකොටික් නිලධාරීන් මෙහෙයවා ඇත්තේ ඩුබායිවල ඉන්න ‘පොඩි ලැසී’ ගේ ඥාතියෙක්

පසුගියදා හෙරොයින් තොග ජාවාරමට අදාළව අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනාට අදාළ නඩු විභාගය ඊයේ (18) දිනයේ දි කොළඹ මහේස්ත්‍රාත් යළි කැඳවීය.

එම අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් සම්බන්ධ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන “උදාර සම්පත්” නමැත්තා බවයි. එමෙන්ම, උදාර සම්පත් නමැත්තා, බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින “පොඩි ලැසී” නමැත්තාගේ ඥාති සහෝදරයකු වන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

සිද්ධියට අදාළ සැකකාර නාකොටික් නිලධාරින් 13 දෙනා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරය තුළ රඳවා ඇති බවත්, කොවිඩ් වයිරසය හේතුවෙන් සෞඛ්‍ය හේතු මත සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බවත්, බන්ධනාගාරය වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

Giraya News Alerts

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන ප්‍රශ්න කිරීම් කරන පොලිස් නිලධාරීන් පස් දෙනකු සහ සිවිල් පුද්ගලයන් පස් දෙනකු ඇතුළු සැකකරුවන් 23 දෙනකු සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

එහිදී කරුණු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්: ස්වාමිනි, මෙම සිද්ධිය ආරම්භ වන්නේ මිනුවන්ගොඩ පොලිසිය මගින් වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 5ක් සමග මල්ලවාරච්චි චමින්ද නොහොත් ‘ටයිල් චමින්ද’ නමැත්තා අත්අඩංගුවට ගැනීම මගින්. ඉකුත් අප්‍රේල් මාසයේ දී මෙම සැකකාර නාකොටික් නිලධාරීන් හෙරොයින් කිලෝග්‍රෑම් 130ක් කොළඹට ගෙනල්ලා ඉන් 90ක් ටයිල් චමින්දට දෙනවා. තවත් කිලෝ 40ක් පාර්ලිමේන්තු පාරේ දී තව කෙනෙකුට දෙනවා. මේක තමයි මේ සිද්ධිය.

මේ සිද්ධියට අදාළව විහඟ ප්‍රභාත් නොහොත් ‘මැණික්’ සහ ඔහුගේ රියැදුරා වශයෙන් කටයුතු කළ තත්සර කාවින්ද සූරියාරච්චි යන අය අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් කරනවා. ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ මෙම සැකකාර නාකොටික් නිලධාරීන් ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා කේ. 8110 දරන වෑන් රථයෙන් මාතර ප්‍රදේශයට යනවා. එම ප්‍රදේශයට ගොස් වාහනය පාළු ස්ථානයක තබා නැවත ඔවුන් වෙනත් වාහනයකින් පැමිණෙනවා. පසුව පහුවදා ගොස් එම වාහනයට හෙරොයින් පටවාගෙන තවත් වාහන දෙකක් සමග ආරක්ෂිතව අධිවේගී මාර්ගයෙන් ඒවා කොළඹට ගෙන එනවා.

මේ සාක්ෂි ස්වාධීන සාක්ෂි. මේ සියල්ල සම්බන්ධීකරණය කරන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින උදාර සම්පත් නමැති සංවිධානාත්මක අපරාධකරු. මොහු පොඩි ලැසී නමැත්තාගේ ඥාති සහෝදරයෙක්. මේ සැකකරුවන් වාහන කුලී පදනම මත ලබා දෙන ආයතනවලින් තමයි මේ වාහන ලබා ගන්නේ. මත්ද්‍රව්‍ය නශ්‍ය කරන්න ඉන්න නිලධාරීන්ම මේ ආකාරයට හැසිරී තිබෙනවා. දැන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සුළු නිලධාරීන් දෙන්නෙක් පවා අත්අඩංගුවට පත්ව සිටිනවා මේ ජාවාරමට. මේක දම්වැලක් වගේ. මේ ජාලය කෙතරම් පුළුල් ද කිව්වොත් මොවුන් මත්ද්‍රව්‍ය කිලෝ ගණන් ළඟ තබාගෙන ඉඳලා තියෙනවා. ඒවා පැකට් කරද්දි මත්පැන් බීලා අයිස් ගහලා තමයි ඉඳලා තියෙන්නේ.

මෙහි විශේෂත්වය නීතියේ රැකවරණය ඇතිව මේ ජාවාරම් කරලා තියෙන්නේ. මෙම සැකකරුවන් රැගෙන ගිය වාහනවල ජී.පී.එස්. පද්ධති සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රජයේ මිනින්දෝරු වාර්තා කැඳවලා තිබෙනවා. තාම ඒවා ලැබී නැහැ.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් ඔවුන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් ලිඛිත සැලකිරීම් අධිකරණය වෙත භාරදීම ද මෙහිදී සිදුවිය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 31 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරමින් එදිනට සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාරයට නියම කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ වී අවි ආයුධ රැස් කිරීම, මනුෂ්‍ය ඝාතනයක් කිරීමට ආධාර අනුබල දීම, සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම, සාහසික ක්‍රියා සිදුකරමින් මහජන සාමයට උපද්‍රව කිරීම හා සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම සැකකාර නාකොටික් නිලධාරින් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව සිදුකරන විමර්ශනයට අදාළව සැකකරුවෝ තවත් 06 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම නඩුවට නම් කරනු ලැබූහ. ඒ අනුව එම සිද්ධියට අදාළව සැකකරුවන් 09 දෙනකු නම් කර ඇත.

මෙම සිද්ධියට අදාළව හොර නෝට්ටු සම්බන්ධයෙන් වූ සිද්ධි දෙක ද අධිකරණය හමුවේ යළි කැඳවූ අතර ඊට අදාළ සැකකරුවන් වන ධම්මික වන්නිආරච්චි සහ ලලිත් ජයවර්ධන යන සැකකරුවන් ලබන 25 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියම කරමින් එදින තෙක් එම නඩුව කල් තැබීය.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top