සිය සේවා ගිවිසුම් කාලය අවසන් වී කොරියාවේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 1600 දෙනා මාස දෙකක් ඇතුළත ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ ඇති වූ ගුවන් ගමන් නතර වීම නිසා මෙම පිරිසට ලංකාවට පැමිණීමට නොහැකිව මේ වන විට මාස කිහිපයක් කොරියාවේ රැදී සිටියි. මෙම පිරිස ලංකාවට ගෙන්වා ගන්නා තුරු කොරියාවේ රැකියා සඳහා යාමට නියමිත ඊළඟ ලාංකික ශ්‍රමිකයින් කණ්ඩායම එරටට යැවීමට නොහැකිව සිටින බව ද මෙහිදී අනාවරණය විය.
එම නිසා, කොරියාවේ මේ පිරිස දිවයිනට ගෙන්වා ගෙන ඔවුන් නිරෝධායනය කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන යොදා ගන්නා බවත්, ඔවුන්ට ආහාර හා සියළු පහසුකම් කාර්යාංශය මඟින් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.
ඒ සඳහා, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන්යානා යොදා ගනිමින් මාස දෙකක් තුළ මේ පිරිස ගෙන්වා ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
අද (18)පෙරවරුවේ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ (HRDK) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත කිම් වොන් සොක් (Kim Won Seok) සමඟ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
මෙහිදී කිම් වොන් සොක්, අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ කොරියානු විභාග සහ පුහුණු පාඨමාලා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බවයි. ඒ අනුව, කොරියානු රැකියා අපේක්ෂිතයින් 200 දෙනෙකු පුහුණු කළ හැකි විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් ඉතාම ඉක්මණින් හෝමාගම ප්‍රදේශයේ පිහිට වීමට අමාත්‍යවරයා එකඟ විය. ඊට අවශ්‍ය පරිගණක ඇතුළු තාක්ෂණික පහසුකම් කොරියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට කිම් වොන් සොක් එකඟතාවය පළ කළේ ය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් ද සහභාගී විය.
