09 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්කර තිබෙන බව ඊයේ (17) දින පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කළා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව පිහිට වූ තාවකාලික ආණ්ඩුවේද එම තනතුරු දෙක හොඹවනු ලැබුවේ ඔවුන් දෙදෙනා විසිනි.
එසේම අගෝස්තු 20 දිනට නියම කර ඇති 09 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගී වන ලෙස 09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් වෙත මහ ලේකම් ධම්මික දසනායක ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ අනුව දැනුම් දී ඇත්තේ මැතිවරණ කොමිසම විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති මන්ත්‍රීවරුන් 223 දෙනාට පමණි.
අපේ ජනබල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය වෙත හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර එම පක්ෂවල ඇති වී තිබෙන අභ්‍යන්තර අර්බුද හේතුවෙන් මෙතෙක් මන්ත්‍රීවරයෙකු නම් නොකිරීමට ඊට හේතු වී තිබෙනවා.
මේ අතර ගැසට් කර ඇති මන්ත්‍රීවරුන් 223 දෙනාම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ වන විටත් ලියාපදිංචි වී අවසන් බව ද පාර්ලිමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා. එසේම ඉදිරියේ දී මන්ත්‍රීවරුන්ට අවශ්‍ය බොහෝ සේවා මෙලෙස ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට පියවර ගන්නා බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
09 වන පාර්ලිමේන්තු කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා තෝරා පත් කර ගැනීම අගෝස්තු 20 දින මංගල පාර්ලිමේන්තුවේ සිදුවන පළමු කටයුත්තයි.
කථානායකධූරය සඳහා නම් 3ක් සළකා බැලෙමින් තිබූ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද යාපා අබේවර්ධන හා තිස්ස විතාරණ යන මහත්වරුන් ඒ අතර සිටි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. එහෙත් මේ වන විට එම ධූරය සඳහා වැඩි ඉඩක් ලබාගෙන ඇත්තේ මහින්ද යාපා අබේවර්ධන බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකධූරය සඳහා කබීර් හෂීම්, චම්පික රණවක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ හර්ෂ ද සිල්වාගේ නම් යෝජනා වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඉන් කබීර් හෂීම් හට එම ධූරය ලබා දීම සමගි ජනබලවේගයට සහය දෙන සුළු පක්ෂවල ප්‍රධාන ඉල්ලීමක් බවට පත්ව තිබෙන බව ද වාර්තා වේ.
