එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය තෝරා පත් කර ගැනීම සඳහා තවත් මාස 6ක කාලයක් ලබා ගැනීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇත.
පක්ෂ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද (14) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය පැය දෙකකට අධික කාලයක් මේ පිළිබඳව සාකච්ඡා කළ බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.
පසුගිය අගෝස්තු 5 වනදා පැවති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට පත්වූ අතර, අනතුරුව, වසර 26 ක කාලයක් පක්ෂයේ නායකත්වය දැරූ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා.
ඒ අනුව, නව පක්ෂ නායකත්වය සඳහා නම් 8 ක් යෝජනා වූ අතර පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික දයා ගමගේ, නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, අර්ජුන රණතුංග සහ පාලිත රංගේ බණ්ඩාර යන අයගේ නම් යෝජනා විය.
එමෙන්ම, පක්ෂය ඉල්ලීමක් කරන්නේ නම් නායකත්වය භාර ගැනීම සඳහා තමන් සූදානම් බව හිටපු කථානායක කරු ජයසූරිය ඊයේ (13) තම කැමැත්ත පළ කර තිබුණා.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන ද ඊයේ (13) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, දේශපාලන පක්ෂයක් ලෙස යළි ශක්තිමත්ව නැගී සිටීම සඳහා පුළුල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍ය බවයි.කෙසේ වෙතත්, අද රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී හිටපු කතානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ගෙන තිබෙනවා.
පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක, කරූ ජයසූරියට පක්ෂව කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ පක්ෂ නායකත්වය සඳහා ඔහු සුදුසු බවයි. පක්ෂ නායකත්වය භාර ගැනීමට කැමති බවට කරූ ජයසූරිය තමන්ට ද දැනුම් දුන් අතර, ඒ අනුව, ඒ පිලිබඳව ද සලකා බැලිය හැකි බව නායක රනිල් වික්‍රමසිංහ ද කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, රවී කරුණානායක, එහිදී පවසා ඇත්තේ ‘‘නායකත්වය ගැන තවම හදිස්සියක් නැහැනෙ.’’ අපට තව ටිකක් ඉදලා තීරණයක් ගන්න පුළුවන් යනුවෙන්’’ ය. රනිල් වික්‍රමසිංහ ඊට ප්‍රතිචාර දක්වමින් ‘‘මම කැමතියි නායකත්වය භාර දෙන්න, ඒ ගැන ඔයාලා තීරණයක් ගන්න ඕනෙ මොකක්ද කරන්නෙ කියලා.’’ යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා. වජිර අබේවර්ධන කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ ‘‘ඡන්දය පරාද වුණ ගමන් නිසා නායකත්වය ගැන තීරණයක් ගන්න තව ටිකක් ඉඳලා බලමු, ඒ ගැන පස්සෙ කතා කරමු. ’’ යනුවෙන් ය.
කෙසේ වෙතත්, කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ තරුණයෙකු ඉදිරි නායකත්වය සඳහා පත් කළ යුතු බවයි. ඒ අනුව, මේ වනවිට පක්ෂයේ නායකත්වය සඳහා යෝජනා කර ඇති අයට වගකීම් බෙදා දෙමින් ඔවුන්ගේ හැකියාව මත ඉදිරි නායකත්වය තෝරා ගැනීමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟත්වය පළ වී තිබෙනවා.
ඒ සඳහා මාස 6 ක කාලයක් ඔවුන්ට ලබාදෙන අතර, රනිල් වික්‍රමසිංහ අදාළ මාස 6 තුළ තවදුරටත් පක්ෂ නායකත්වයේ කටයුතු කරනු ඇත.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ද අද කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගැණුන ද ඒ පිළිබඳව ද එකඟතාවකට පැමිණීමට හැකිවී නැහැ. කෙසේ වෙතත්, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමි වූ දේශපාලන පක්ෂවලට එම මන්ත්‍රී ධුර සඳහා නම් යෝජනා කිරීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වීමට නියමිතයි.
