ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් – 19 වෛරසය ආසාදිත වූවන් ගණන මේ වන විට 2882ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ (13) දිනයේ දී එක් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති අතර එම ආසාදිතයා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකි.
එමෙන්ම, ඊයේ (13) දිනයේ දී තවත් ආසාදිතයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මේ වන විට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2646 දෙනෙකු සුවය ලබා ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 224ක් වේ. මීට අමතරව, තවත් පුද්ගලයින් 48 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.
මේ අතර, රාජාංගනය ප්‍රදේශයේ පාසල් සිසුවෙක්ට පළමු වරට සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේ දී වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති අතර දෙවන වරට සිදු කරන ලද පරීක්ෂණයේ දී වෛරසය ආසාදිත වි නොමැති බවට තහවුරු වී ඇත. මේ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පාසල් සිසුන් ඇතුළු 90කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
අද දිනය තුළ යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 82 දෙනෙක් නිරෝධායනය අවසන් කර පිටව යෑමට නියමිතය. මේ වන විට පුද්ගලයින් 30, 184 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් තිබේ. තවත් පුද්ගලයින් 4461 දෙනෙක් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43ක නිරෝධායනය වෙමින් සිටියි.
ඊයේ (13) දිනය තුළ පී.සී.ආර් පරීක්ෂණ 1100ක් සිදුකර ඇති අතර, මේ වන විට ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 179,949කි.
