අනුරාධපුරය රාජාංගණය ප්‍රදේශයේ යාය 05 ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන වයස අවුරුදු 16ක් වන සිසුවෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මතුවූ සැකයක් මත පුද්ගලයින් 90 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව රාජාංගණය ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කරයි.
අහඹුව සිදුකළ මෙම සිසුවාගේ පළමු පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් දෙවන වරට සිදු කළ පරීක්ෂණයේදී ඔහුගේ පරීක්ෂණ වාර්තා සෘණාත්මක වීම නිසා යළි එම ජෛව සාම්පල් පරික්ෂා කිරීමට යොමු කළ බව වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කරයි. එම පරීක්ෂණ වාර්තාව අද (13) රාත්‍රියේ දී ලැබීමට නියමිතව තිබේ.
මෙම සිසුවා පසුගිය 10 වෙනිදා පාසැල් ගොස් ඇති බව පැවසූ වෛද්‍යවරයා මිට පෙර රාජාංගඛය ප්‍රදේශයේ හඳුනා ගනු ලැබූ කොරෝනා ආසාදිත රෝගියෙකුගේ නිවස ඉදිරිපිට නිවසක මෙම සිසුවා ජිවත්ව ඇති බව ද සඳහන් කළා. ඒ අනුව, මෙම සිසුවාගේ තෙවන පී.සි.ආර්. පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් ඔහු ජිවත්වන නිවස අවට පිහිටි නිවාස කිහිපයක ජිවත්වන පුද්ගලයින් 30 කට ආසන්න ප්‍රමාණයක් දැනට ස්වයං නිරෝධායනයට යොමු කළ බව වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කරයි.
මීට අමතරව, මෙම සිසුවාගේ පාසැලේ ආශ්‍රිතයින් බවට හඳුනා ගෙන සිටින ළමුන් 50 දෙනෙකු සහ ගුරුවරුන් 06 දෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කළ බව රාජාංගනය ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කළා.
