චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවා යානයන් සති 04 ක කාලයක් සඳහා අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව චීන මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස තාවකාලික ගුවන් සේවා තහනමක් පැනවීමට තීරණය කොට ඇත්තේ, ආගොස්තූ 07 වෙනිදා චීනයේ ෂැංහයි නුවරට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එරට සෞඛ්‍ය බලධාරින් තහවුරු කිරිම හේතුවෙන් ය.
මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් වන නිල නිවේදනයක් අද (13) සවස පැවැත්වෙන විශේෂ සාකච්ජාවකින් පසුව මාධ්‍ය වෙත නිකුත් කිරිමට පියවර ගන්නා බව එම ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කරයි. එමෙන්ම, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ මැදපෙරදිග සිට චීනය බලා ගුවන් මගීන් රැගෙන යාමට යොදා ගත් ගුවන් යානයක සිටි මගීන් පිරිසකට මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
මීට අමතරව තවත් ගුවන් සේවා දෙකක ගුවන් ගමන් අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා පාළනාධිකාරිය තීරණය කොට ඇති බව චීනයේ Xinhua පුවත් සේවය නිවේදනය කරයි. ඒ, අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවය, පිලිපීනයේ මැනිලා නුවර සිට පැමිණෙන චයිනා ඊස්ටර්න් ගුවන් සේවය සතියක කාලයක් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මීට හේතු වී තිබෙන්නේ, ඉකුත් අගෝස්තු 03 වෙනිදා පැමිණි Etihad ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 6 දෙනෙකු සහ මැනිලා සිට පැමිණි චයිනා ඊස්ටර්න් ගුවන් යානයේ තවත් මගීන් 06 දෙනෙකු හට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමයි.
