Advertise with Giraya
NEWS

කුරුණෑගල නගරාධිපතිගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

කුරුණෑගල නගර මධ්‍යයේ පවතින ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් , තමාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන්නැයි ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ සහ නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි යන මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ අද (11) රිට් පෙත්සම් දෙකක් ඉදිරිපිත් කර තිබෙනවා.

තමා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගෙන ඇති බව ජනමාධ්‍ය මඟින් දැනගන්නට ලැබුණු බවත් , එය නීතීයට පටහැනි බැවින් එම වරෙන්තු බලරහිත කරන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.

පෙත්සම් හි වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිස් ස්ථානාධිපති කපිල අධිකාරි , රංජිත් කුලතුංග , වැඩබලන පොලිස්පති , පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, නීතිපතිවරයා සහ කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා නම් කර ඇත.

Giraya News Alerts

පෙත්සම්කරු කියා සිටින්නේ, කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරණයක් සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ විසින් වැරදි මත සමාජගත කිරීමට පියවර ගත් බවයි. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ පුද්ගලයෙකු අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇතැයි චෝදනා කළ පෙත්සම්කාර කුරුණෑගල නගරාධිපතිවරයා චෝදනා කර සිටියේය.

මෙම සිද්ධින්වලින් පසුව පොලීසිය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අදාළ විමර්ශනයෙන් පසුව තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත පොලීසිය විසින් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් අගෝස්තු මස 7 වන දා වරෙන්තු ලබාගෙන තිබෙන බව පෙන්වා දුන් කුරුණෑගල නගරාධිපතිවරයා එම වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය නීතියට පටහැනි බව කියා සිටියේය.

කඩා ඉවත් කෙරනු බව සඳහන් ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව පෙන්වා දෙන නගරාධිපතිවරයා එම තත්ත්වය යටතේ පුරාවිද්‍යා පනත පදනම් කරගෙන තමා ඇතුළු පිරිසකට එරෙහිව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය මුළුමනින්ම නීතියට පටහැනි බව ද ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන්, තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් අගෝස්තු මස 7 වනදා නිකුත් කළ වරෙන්තුව බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් කුරුණෑගල නගරාධිපතිවරයා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top