ලෙබනනයේ බීරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වාර්තා කරයි.
තුවාලකරුවන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වේ.
ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් මේ වන විට එරට වැසියන් ඇතුළු විදේශිකයින් 5000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
මේ අතර පිපිරීම් හේතුවෙන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ නිලධාරීන්ගේ නිවාසවලට හානි සිදුව තිබුණ ද පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය දිනපතා විවෘතව තැබෙන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න සඳහන් කළාය.
මෙම හදිසි තත්ත්වය තුළ තානාපති කාර්යාලය හා සම්බන්ධ වෙමින් එරට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සේවාවන් සහ උපදෙස් ලබාගැනීමට පැමිණෙමින් සිටින බව ද ඇය පැවසීය.
කෙසේවෙතත් සිද්ධියෙන් තුවාල ලැබූ සහ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ලෙබනන් රජය සමග සෘජුව සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටින බව ද ශානි කරුණාරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
