සලකුණු කළ ඡන්ද පත්‍රිකාව තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ පුද්ගලයින් දෙදෙනෙකු අද (05) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති එක් තරුණයෙකු මහනුවර, නාවලපිටිය, ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු වන අතර නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ දී ජන්දය සලකුණු කළ පුද්ගලයෙකි.
ඔහු සලකුණු කළ ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගන්නා බව දුටු ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපති විසින් එම පුද්ගලයා සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත භාර දුන් බව වාර්තා වේ.
අත්අඩංගුවට ගන්නා ලද අනෙක් පුද්ගලයා පිළියන්දල ගෝනමඩිත්ත ශ්‍රී සද්ධානන්ද බෞද්ධ විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානය තුළ දී සිය ජංගම දුරකතනයෙන් ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබා ගෙන ඇති අතර ඔහු පිළියන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ගෙන ඇති අතර සැකකරු සතුව තිබූ සලකුණු කරන ලද ජන්ද පත්‍රිකාව සහ ජංගම දුරකතනය පොලිසිය භාරයට ගෙන ඇත.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගැනීම නීතියෙන් දඬුවම් ලැබෙන වරදක් බවයි. එවැනි දෑ සිදුකරන්නන් සහ එම පත්‍රිකා සමාජ ජාල තුළට එක් කරන පුද්ගලයින් සහ ෆේස්බුක් පිටු ෆේස්බුක් ආයතනය හරහා සොයාගෙන නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිසම සඳහන් කළා. ඒ සඳහා විශේෂ කණ්ඩායමක් කටයුතු කරන බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් පැවසුවා.
