අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකෙර සමඟ එක්ව බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පෝද්දල පොලිස් වසමේ පුවක්වත්ත පාර, කිතුලන්පිටිය, උළුවිටකේ ලිපිනයේ පදිංචි මෙම උපපොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු ඊයේ (03) රාත්‍රී 8.25ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
2014 වසරේ දී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහි ව පවතින නඩු කටයුත්තකට අදාළ ගිනි අවි හඳුන්වා දී අධිකරණ නඩු කටයුත්තක් සඳහා බොරු සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් ගිනි අවි පිළිබඳ මතු වු ගැටළුකාරී තත්ත්වයක් මත පොලිස්පතිතුමාගේ නියෝග අනුව කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 1536/2020 යටතේ කරුණු වාර්තා කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
ඒ අනුව, මෙම නඩුවේ සැකකරුවෙකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා 2020.07.31 වන දින උදෑසන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2020.08.07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඊයේ (03) අත්අඩංගුවට ගත් මෙම උපපොලිස් පරීක්ෂකවරයා අද (04) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
