ලබන අගෝස්තු 05 වැනි දින පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ දී ඡන්ද සලකුණු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද දායකයින් වෙත නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එය පහතින් දැක්වේ.
2020.08.05 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද දායකයින්ට ස්වකීය ඡන්දය සලකුණු කිරීම සඳහා අවැසි නම් ඒ සඳහා තමන්ගේ පෑනක් භාවිතා කිරීමට අවකාශ ඇති අතර, එම පෑන නිල් හෝ කලු පැහැති බෝල තුඩු පෑනක් විය යුතු ය. තවද, එම ඡන්ද දායකයා විසින් රැගෙන එනු ලබන පෑන යම් පක්ෂයක් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු සලකුණක් / වර්ණයක් ලාංඡනයක් සහිත එකක් නොවිය යුතු බවත් එවැනි පෑන් ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන ඒමෙන් වළකින ලෙසත් මෙයින් නිවේදනය කරනු ලැබේ.
යම් ඡන්ද දායකයෙකුට ඡන්දය ලකුණු කිරීම සඳහා තමාගේ පෑනක් ගෙන ඒමට හැකියාවක් නැති වුවහොත් එවැනි ඡන්ද දායකයන් සඳහා ඡන්ද මධ්යස්ඛානයේ දී විෂබීජහරණය කරන ලද බෝල තුඩු පෑන් සැපයීමට ක්‍රියාකරනු ලැබේ.
